ජනතා යහපැවැත්ම අරමුණු කරගත් රාජ්‍ය සංස්කෘතික ප‍්‍රතිපත්තියක් සහ ආයතනික ක‍්‍රියාදාමයක් නිර්මාණය කිරීම උදෙසා නිර්-පාක්ෂික රාමුවක්

Posted: January 5, 2011 in දේශපාලන

– සුනිල් විජේසිරිවර්ධන

හැඳින්වීම

මෙම ලේඛණය 90 දශකයේ දී විභවි සංස්කෘතික මධ්‍යස්ථානය හරහා අප විසින් ආරම්භ කරන ලද පුරෝගාමී කතිකාවන්ගේ දිගුවක් ලෙස හැඳින්විය හැකිය. එමෙන්ම පසුගිය වසර 4-5 තුළ නොවැම්බර් ව්‍යාපාරය සහ හෙරිටේජ් ඉනීෂෙටිව් වැනි සංවිධාන මෙන්ම, කාලයක් තිස්සේ ධර්මසිරි බණ්ඩාරනායක, පරාක‍්‍රම නිරිඇල්ල, මහාචාර්ය කේ. සිවතම්බි, ප‍්‍රසන්න විතානගේ, නිර්මාල් රංජිත් දේවසිරි, ලක්‍ෂමන් ගුණසේකර, ගාමිණී වියන්ගොඩ ආදී ප‍්‍රවීන කලාකරුවන් හා කලාවිද්වතුන් විසින් අදාළ ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් මහජන කතිකාව සංවර්ධනය කිරීම උදෙසා කරන ලද නන්විධ දායකත්වය කෙරේ දක්වන ප‍්‍රතිචාරයක් ලෙස ද සැලකිය හැකිය. තවද, වඩා මෑත දී චන්ද්‍රගුප්ත තේනුවර, ධර්මසේන පතිරාජ, රාජිත දිසානයක, සෞම්‍ය ලියනගේ, පියල් කාරියවසම්, ආචාර්ය සුමති සිවමෝහන්, චන්දන අලූත්ගේ, කෞෂල්‍යා ප‍්‍රනාන්දු ඇතුළු විද්වත් කලාකරුවන්, විචාරකයින් ගණනාවක්ම විසින් මහජන කතිකාවට කරන ලද ප‍්‍රයෝජනවත් මැදිහත්වීම් කෙරෙහි දක්වන ප‍්‍රතිචාරයක් ලෙස ද මේ වෑයම හඳුන්වා දීමට කැමැත්තෙමි.

දැක්ම

x    පූර්ණ මානව සංවර්ධනය විෂයෙහි ලා සංස්කෘතිය වූ කලි අතිමූලික සහ  අනූලංඝනීය ක්‍ෂේත‍්‍රයක් ය යන අදහස විශ්වීය වශයෙන් අදාළ විද්වතුන් අතර පිළිගැනෙන බව පොදු වශයෙන් අවධාරණය කරමින් ද,
x    සුවිශේෂ වශයෙන් සලකා බැලීමේ දී වර්තමාන ශ‍්‍රී ලාංකික සමාජය බැරැරුම් ශිෂ්ටාචාරමය අර්බුදයක ගිලී තිබෙන බවත්, ඉන් ගොඩ එ්මට නම් සැලසුම්සහගත විධිමත් සංස්කෘතික-අධ්‍යාත්මික සංවර්ධන හා පරිවර්තන ක‍්‍රියාදාමයක් හරහා සමාජය සුවපත් කිරීම මෙන් ම බලගැන්වීම අත්‍යාවශ්‍ය කොන්දේසියක් වන බවත් අවධාරණය කරමින් ද,

රාජ්‍ය හා සංස්කෘතිය අතර සම්බන්ධයට අදාළ පහත කරුණු කෙරේ ඔබේ අවධානය යොමු කරමු.

අප දකින ප‍්‍රධාන ගැටළු මොනවාද?

අපගේ නිරීක්‍ෂණය වන්නේ,

x    නිදහසින් පසු ඉකිත් වූ පසුගිය දශක හය පුරාවට රාජ්‍යය විසින් උචිත ලෙස, නිරවද්‍ය ලෙස හා ප‍්‍රමාණවත් ලෙස සංස්කෘතිය ක්‍ෂේත‍්‍රයට සිය මැදිහත්වීම සහතික කරනු සඳහා කිසිදු දැක්මක් හෝ මෙහෙවරක් සූත‍්‍රගත කොට හෝ, එබැවින් දීර්ඝකාලීන රාජ්‍ය ප‍්‍රතිපත්ති රාමුවක් සම්පාදනය කොට හෝ නැති බවය.

x    බලයට පැමිණි සෑම ආණ්ඩුවක්ම මෙකී ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් පුදුමාකාර අසංවේදී බවක් සහ උදාසීන බවක් ප‍්‍රකාට කොට ඇති බවය.

x    සංස්කෘතික අමාත්‍යාංශය එහි ආරම්භයේ පටන්ම ක‍්‍රියාක්මක වී ඇත්තේ විෂයපථය සම්බන්ධයෙන් ගත් කළ ඌණිත පර්යාලෝකයක් සහ ඉතා සීමිත රාමුවක් තුළ බවය.

x    එම අමාත්‍යාංශයේ ක‍්‍රියාකාරීත්වය යටකී ගැටළුව ප‍්‍රකට කළා පමණක් නොව, එය විසින් සමාජ සාධාරණත්වය සහ සමාජ සංහිඳියාව යන අවශ්‍යතා සම්බන්ධයෙන් වූ ඉතා මූලික උපමාන කෙරේ සපුරා අන්ධ බවක් පලකළ බවය, එබැවින් පශ්චාත්-විජිත සමාජ ගැටුම් පරිවර්තනය සඳහා දායකවීම කෙසේ වෙතත්, ඇත්ත වශයෙන්ම එම ගැටුම් ඇවිලවීමට අමතර උත්තේජනයක් සැපයූ බවය.

x    එකී අමාත්‍යාංශයේ යටකී අසමර්ථභාවය පශ්චාත්-විජිත ‘ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘතියේ’ අසාර්ථකත්වය විශද ලෙස පිළිබිඹු කරන එක් මුහුණතක් වනවා මෙන්ම, ඊට අත්‍යන්තයෙන් දායක වූ සාධකයක් ද වූ බවය.

x    බලයේ සිටින දේශපාලකයින් රාජ්‍ය සංස්කෘතික ආයතන ස්වකීය පුද්ගලික හා පාක්‍ෂික බල අවශ්‍යතා සඳහා අපහරණය කිරීම නිසා එ්වායේ සොච්චම් මට්ටමේ වූ ශක්‍යතා ද විනාශයට පත් වූ බවය.

x    විශේෂයෙන්ම, නියාමනයට හසු නොකරන ලද ආක‍්‍රමණශීලී ලිබරල් වෙළෙඳ පොල බලවේගයන්ට ජනතාවගේ සමස්ත සංස්කෘතික ජීවිතය බිලි දී ඇති බවද, එබැවින් සමාජ වගකීම් කෙරේ සංවේදී පුරවැසියෙක් වර්ධනය කිරීමටත්, නන්විධ සමාජ විභේදනයන් පරිවර්තනය කරමින් වඩාත් සාමූහික ශිෂ්ට සමාජයක් වර්ධනය කිරීමටත් ආධාරක වන සමාජ සංස්කෘතික ශක්තීන් විනාශ මුඛයට ලක් වූ බවය.

x    ඉහත අවසානයට කී තත්වය නිර්මාණය වීම සඳහා පහත සඳහන් සාධක විශේෂ වශයෙන් පිටු බලය දුන් බවය.

    රාජ්‍ය විද්්‍යුත් මාධ්‍ය ජාලයන් වාණිජ ප‍්‍රාග්ධනයේ සහ බල දේශපාලනයේ ආධිපත්‍යයන්ට මුළුමනින් යටත් කරන ලද නිසා, මහජන සේවා මාධ්‍ය සම්ප‍්‍රදායයකට අයත් කිසියම් හෝ ලක්‍ෂණ එ්වායේ තිබුණා නම්, එ් සියල්ල අවසාන වශයෙන් විනාශ විය.

    කලා නිෂ්පාදනය උදෙසා මහජන අරමුදල් සම්පාදනය කිරීම සහතික කිරීමට කිසිඳු විටෙක    ප‍්‍රතිපත්ති රාමුවක් සම්පාදනය නොවූ බැවින් ද, කවර හෝ ආයතන ක‍්‍රියාදාමයක් ආරම්භ නොකරන ලද බැවින් ද, විශේෂයෙන්ම 78 න් පසු මෙම ක්‍ෂේත‍්‍රය සම්පූර්ණයෙන්ම පාහේ වාණිජකරණයට ලක් විය.

    රටේ අධ්‍යාපනය සමස්තයක් වශයෙන් ගත් කළ, එහි දැක්ම සහ අභිමතාර්ථ මෙන්ම ප‍්‍රායෝගික අධ්‍යාපනික කි‍්‍රයාදාමයන් සමාජ යහපැවැත්ම, ජාතිය ගොඩනැගීම, වාර්ගික සහ ආගමික සහජීවනය මෙන්ම පොදු වශයෙන් නූතන පුරවැසියෙකුගේ වර්ධනයට අවශ්‍ය සංස්කෘතික-අධ්‍යාත්මික සංවර්ධනය යනාදි අවශ්‍යතාවයන් කිසිදු බැරැරුම් ආකාරයකින් අන්තර්කරණය කොට නැත්තේය.

ඉහත දක්වන ලද ගැටළුසහගත සන්දර්භය පරික්‍ෂා කිරීමේ දී පෙනී යනු ඇත්තේ රාජ්‍ය සංස්කෘතික   ප‍්‍රතිපත්ති රාමුවේ සහ රාජ්‍ය සංස්කෘතික ආයතන පද්ධතියේ ක‍්‍රියාකාරීත්වයේ ස්වභාවය එකී තත්වය නිර්වද්‍ය කිරීමේ හා පරිවර්තනය කිරීමේ කාර්යය උදෙසා තීරණාත්මක අගයක් දරණ බවයි. අවසාන වශයෙන් වැදගත් ප‍්‍රශ්නය වන්නේ එකී සංස්කෘතික ක‍්‍රියාදාමයන් විභේදනයකින් තොරව රටේ සියළු ජනතාවගේ යහපැවැත්ම උදෙසා සේවය කරන්නේ ද යන්නයි.

මෙතෙක් විස්තර කරන ලද ගැටළු සන්දර්භය සම්බන්ධයෙන් ප‍්‍රතිපත්ති තීරකයන්ගේ අවධානයට මුලින්ම යොමු විය යුතු පොදු නිගමනය මෙසේය;

x    යහපැවැත්ම, අනන්‍යතාවය සහ නිදහස යනාදි වශයෙන් විස්තර කළ හැකි ජනතාවගේ මූලික මානව අවශ්‍යතා සමුදායයක් දිගින් දිගටම සමාජ-සංස්කෘතික ක්‍ෂේත‍්‍රයට අදාළව සම්පූර්ණ නොවන බවයි.

x    මානව අයිතීන් පිළිබඳ පර්යාලෝකයක් ඔස්සේ දක්වන්නේ නම්, ඉන් අදහස් වන්නේ මේ රටේ පුරවැසියන්ගේ මූලික මානව අයිතීන් සමුච්චයේ ඉතා වැදගත් කොටසක් නිතිපතා උල්ලංඝණය වන බවයි; ‘සංස්කෘතියට ඇති අයිතිය’ හා ‘සංස්කෘතික අයිතීන්’ යන ක්‍ෂේත‍්‍රයන්ට අනුබද්ධිත වූ ජිනීවා ජාත්‍යන්තර සම්මුතියට ශ‍්‍රී ලාංකික රාජ්‍යය ද පාර්ශවකරුවෙකි. සංස්කෘතික අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ කලා මණ්ඩලය නියෝජනය කරමින්, එ්වායේ නොයෙක් බලධාරීන් හා නිලධාරීන් යුනෙස්කෝ ආයතනය ද වෙනත් ජාත්‍යන්තර ආයතන ද හරහා සංවිධානය කරන්නා වූ ජාත්‍යන්තර රාජ්‍ය සමුළු සහ සම්මන්ත‍්‍රණවලට අනේක වාරයක් එතෙක් මෙතෙක් සහභාගී වී තිබේ, එම සමුළුවලදී යටකී අයිතීන් ප‍්‍රවර්ධනය කිරීම හා ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් වූ වැදගත් එකඟතාවයන්ට අනුග‍්‍රහය දක්වා ද තිබේ. එනමුත් ලෝකය ඉදිරියේ භාරගත් වගකීම් ස්වල්ප වශයෙන් හෝ ඉටු කිරීමේලා රාජ්‍යය සමස්ථයක් වශයෙන් හෝ, අදාළ ආයතන හෝ මේ දක්වා කිසියම්         ප‍්‍රමාණයක උනන්දුවක් හෝ අධිෂ්ඨානයක් පෙන්වා නොමැත.

අප යෝජනා කරන්නේ මොනවාද?

ජනතා සුබසිද්ධිය හෝ රටේ සංවර්ධනය සම්බන්ධයෙන් සංස්කෘතික ක්‍ෂේත‍්‍රය තීරණාත්මක අගයකින් යුක්ත වන්නේ යැයි සළකමින් ක‍්‍රියාකරන ලෙස මධ්‍යම, පළාත් සහ ප‍්‍රාදේශීය පාලන ව්‍යුහයන්ට අප යෝජනා කරන්නෙමු; මේ කාරණය සම්බන්ධයෙන් බලයේ සිටින ආණ්ඩුවට ප‍්‍රමුඛතර වගකීම පැවරෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ප‍්‍රථම කොට සංස්කෘතික අමාත්‍යාංශය ආණ්ඩු ව්‍යුහය තුළ දැනට දරන අසරණ ආන්තික තත්වයෙන් මුදවා එය ආණ්ඩු ක‍්‍රියාවලිය තුළ සෑම අතින්ම කේන්ද්‍රීය වැදගත්කමක් දරණ එ්කකයක් බවට පරිවර්තනය කළ යුත්තේය. එහිදී අත්‍යවශ්‍යයෙන්ම එම අමාත්‍යාංශය මෙහෙය වීම උදෙසා සමාජ යහපත ගැන කැපවීමක් පෙන්වන ලද බුද්ධිමය ශක්‍යතාවන්ගෙන් ප‍්‍රමාණවත් ලෙස සන්නද්ධ, එමෙන්ම පුද්ගලික වශයෙන් අදීන සහ අවංක මිනිසෙක් නායකත්වයට පත්වීම සහතික විය යුතුය.

තවද මෙම අමාත්‍යාංශය බලගැන්වීම උදෙසා උචිත ව්‍යුහාත්මක ප‍්‍රවර්ධනයන් කළ යුතු අතර, අදාළ පරිදි මානව හා බුද්ධිමය සම්පත් වලින් ද, මූල්‍යමය වශයෙන් ද එය විශාල වශයෙන් ශක්තිමත් කිරීම අවශ්‍ය බව පැහැදිලිය.
පාලන ව්‍යුහයන් ආමන්ත‍්‍රණය කරමින් අප දැඩිව අවධාරණය කරන්නේ මනා ලෙස සම්පාදිත විස්තීර්ණ සංස්කෘතික ප‍්‍රතිපත්ති රාමුවක් මත පදනම් වෙමින් ද, නිරවද්‍ය හා නිර්මාණශීලී උපාය මාර්ගික ප‍්‍රවේශයන් ගනිමින් ද, ජනතාවගේ සංස්කෘතික-අධ්‍යාත්මික පුනර්ජීවනය හා ප‍්‍රවර්ධනය සඳහා පියවර ගැනීම තවදුරටත් පමා කළ නොහැකි කාරණයක් වී ඇති බවයි; මේ සඳහා අවතීර්ණ වීමේ දී වර්තමාන ජාතික මෙන්ම ජාත්‍යන්තර තලවල ක‍්‍රියාත්මක වන දේශපාලනික හා සමාජ ගැටළු මෙන්ම අභියෝග පිළිබඳ සන්දර්භයන් ගණනයට ගැනීම සාර්ථකත්වය සඳහා මූලික කොන්දේසියක් වන්නේය. ජාතික වශයෙන් ගත් කළ විශේෂයෙන් අවධාරණය කළ යුත්තේ ජනජීවිතය වසා අස්සක් මුල්ලක් නෑර පැතිරී ඇති සමාජ ප‍්‍රචණ්ඩත්වයේ සංස්කෘතික මාන පරිවර්තනය කිරීමේලා විශේෂ අවධානයක් අවශ්‍ය බවය. මීට අදාළව සටහන් කළ යුතු වැදගත් කරුණක් නම් සමාජය තුළ ව්‍යාප්තව දක්නට ලැබෙන සමාජයීය වශයෙන් විනාශකාරීි සංස්කෘතික භාවිතාවන් සහ පුරුදු සමුදායයක් සම්බන්ධයෙන් ප‍්‍රතිපත්ති තීරකයින් පමණක් නොව, ‘උගත් හා සාධාරණ’ බහුතරයක් ද බොහෝ කොටම අන්ධ බවයි. මේ ආකාර වූ පුද්ගලයාට හා සමාජයට ව්‍යසනකාරී වන සංස්කෘතික භාවිතාවන් සමාජ-ෙලෙංගිකත්වය, කුලය, පරම්පරාව යනාදී විභේදනාත්මක සමාජ සම්බන්ධතා ක්‍ෂේත‍්‍ර තුළ බහුලව දැකිය හැකිය.

සමාජ ප‍්‍රචණ්ඩත්වය ගැන යොමු වීමේ දී රජය එහි ස්වභාවයෙන්ම ප‍්‍රචණ්ඩ ගුණයෙන් යුක්ත යැයි බොහෝ දේශපාලන විද්‍යා ධාරා විසින් කියා සිටිනු ලැබේ. කෙසේ නමුත් සමාජ ජීවිතයේ අනෙක් කරුණු සම්බන්ධයෙන් මෙන්ම රාජ්‍යය හා එහි ස්වභාවය සම්බන්ධයෙන් ද වියුක්ත සත්‍යයන් නොමැත. අප විශ්වාස කරන්නේ සමාජයේ ප‍්‍රබුද්ධත්වයට හා ශක්තියට අනුරූපව රාජ්‍යය සංස්කරණයන්ට භාජනය කළ නොහැකි වීමට විශේෂ හේතුවක් නැති බවයි. ශ‍්‍රී ලාංකික රාජ්‍යයේ ව්‍යුහාත්මක මානයන් මෙන්ම සංස්කෘතික මානයන් ද සංස්කරණයට ලක් නොකොට පවතින අර්බුදයන්ගෙන් ගොඩ එ්මක් නොමැත. මීට අදාළව අවධාරණය විය යුත්තේ ශ‍්‍රී ලාංකික රාජ්‍යය තුළ සංස්ථාපනය වී ඇති සහ දිගටම වර්ධනය වෙමින් පවතින (කුලය, වර්ගය, ආගම, සමාජ-ෙලෙංගිකත්වය, පරම්පරාව, ප‍්‍රාදේශීයවාදය යනාදි* ගැඹුරු ව්‍යුහයන්ට අදාළ ප‍්‍රචණ්ඩත්වය හෙවත් ව්‍යුහාත්මක ප‍්‍රචණ්ඩත්වය පරිවර්තනය කිරීමට අදාළ සියලූ දෙනා තුළ අධිෂ්ඨානයක් අවශ්‍ය බවයි.  මේ ලේඛණයේ රාමුවට අදාළ පරිදි පෙන්වා දිය යුත්තේ ශ‍්‍රී ලාංකික සමාජයේ බහු-සංස්කෘතික ස්වභාවය සම්බන්ධයෙන් රාජ්‍යය දක්වන අන්ධභාවය, ජාතික උත්සව ඇතුළු රාජ්‍ය ආයතනික කෘත්‍යයන් තුළ නැවත නැවත ප‍්‍රදර්ශනය කෙරෙන අතර මේ තත්වය ශ‍්‍රී ලාංකික ජනතාවගේ  විවිධ සාමුහික අනන්‍යතාවයන් ආන්තීකරණය හෝ බහිෂ්කරණය කරන ප‍්‍රචණ්ඩ ව්‍යුහාත්මක ලක්‍ෂණ පෙන්වන හෙයින් සමාජ ප‍්‍රචණ්ඩත්වයට ඍජුව හා වක‍්‍රව දායකවන බවයි.
අප අවධාරණාත්මකව යෝජනා කරන්නේ රාජ්‍ය ප‍්‍රතිපත්ති පද්ධතියක් නිර්මාණය කිරීම සිය ප‍්‍රමුඛ හා හදිසි කාර්යයක් ලෙස ආණ්ඩුව විසින් භාරගත යුතු බවයි. එබඳු ප‍්‍රතිපත්ති සංවර්ධනයක් සඳහා අවශ්‍ය කෙරෙන මූලික මාර්ගෝපදේශනයක් දක්වන්නට දැන් අපි වෑයම් කරන්නෙමු.

1. ගැටළුව;  ප‍්‍රමාණවත් දැක්මක්, පරිග‍්‍රාහක සංස්කෘතික ප‍්‍රතිපත්තියක් සහ අධීක්‍ෂණ යාන්ත‍්‍රණයක් නොමැති වීම.

අප සිතන පරිදි වර්තමාන ශ‍්‍රී ලාංකික සන්දර්භයට අදාළව පරිග‍්‍රාහික සංස්කෘතික ප‍්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ දී එකිනෙක හා අන්තර්-සම්බන්ධිත පහත දැක්වෙන අවශ්‍යතා ද්වය පරමාර්ථ වශයෙන් තබා ගැනීම අවශ්‍යය.

x    පූර්ණ මානව සංවර්ධනය (වර්තමානයේ බලගතුව පවතින පටු හා ගැටළුසහගත ‘සංවර්ධන’ කතිකාවට එරෙහිව මෙකී ඉලක්කය පිහිටුවීමේ වැදගත්කම අවධාරණය වේ).

x    ශ‍්‍රී ලාංකික ජාතිකත්වයක් ගොඩනැංවීම.

පෙනෙන පරිදි පරිග‍්‍රාහක සංස්කෘතික ප‍්‍රතිපත්තියක් නිර්මාණය කිරීම, හා ඉන්පසු අදාළ රාජ්‍ය ආයතනික ක‍්‍රියාදාමයන් සංස්ථාපනය කොට දියත් කිරීම සහ එහි අධීක්‍ෂණය උදෙසා සුවිශේෂ බහු-ආංශික සංස්කෘතික කාර්ය බලකායක් වැනි ශක්තිමත් ව්‍යුහයක් නිර්මාණය කිරීම අවශ්‍ය වේ. මෙම කාර්ය සාධන බලකාය අදාළ විශේෂඥයින්, වෘත්තිකයින්, සිවිල් සමාජ නියෝජිතයින් ඇතුළු අදාළ ‘පරදු දරන්නන්’ ගෙන් සමන්විත යුතුය. තවද එය අධ්‍යාපන, සංස්කෘතික හා මාධ්‍ය අමාත්‍යාංශ අතර සම්බන්ධීකරණයක් සහිත ව්‍යුහයක් විය යුතු වෙයි. එමෙන්ම එහි ස්වාධීනත්වය සහතික කරනු වස් අදාළ මූලික නියමු මණ්ඩලය පත් කිරීම ව්‍යවස්ථා මණ්ඩලය වැනි පාර්ලිමේන්තුවට පොදුවේ වගකියන ව්‍යුහයක් මගින් වීම අවශ්‍යය.

2. තවදුරටත් යටකී ගැටළුවට අදාළව ක‍්‍රියාත්මක වීමේ දී පහත සඳහන් විවිධ සන්දර්භයන් හා එ්වායින් පැනෙන විවිධ අවශ්‍යතාවන් ගණනයට ගැනීම අත්‍යවශ්‍යය.

x    නාගරික-ග‍්‍රාමීය, සමාජ-ෙලෙංගිකත්වය, පරම්පරාව, ජනවර්ගය, ආගම ඇතුළු වෙනත් සාමුහික අනන්‍යතා.

x    තවද දීර්ඝකාලීන යුද්ධය හා ප‍්‍රචණ්ඩත්වය විසින් විනාශ කරන ලද සංස්කෘතික ආයතන සහ අවකාශ සැලකිල්ලෙන් පුනරුත්ථාපනය කිරීමට හා ප‍්‍රතිසංස්කරණය කිරීමට බරක් තබා ක‍්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ.

x    වර්තමාන ගෝලීයකරණ සන්දර්භය විසින් ශ‍්‍රී ලාංකික සමාජය ඉදිරියේ තබා ඇති අභියෝග, දුෂ්කරතා මෙන්ම අවස්ථා ගැන ද විචාරාත්මක දැනීමකින් තොරව මෙම කාර්යය සඵල කර ගත නොහැකි බව අවධාරණය කළ යුතුය.

හරයාත්මකව ගත් කළ අවසාන විග‍්‍රහයේ දී අවශ්‍ය වන්නේ රටේ පොදු සංස්කෘතික ජයග‍්‍රහණයන් භුක්ති විඳීමට සියළුම පුරවැසියන්ට ඇති සමාන අයිතිය (සංස්කෘතියට ඇති අයිතිය) සහතික කොට ආරක්ෂා කරන්නා වූ ද, එමෙන්ම එ් එ් ජන ප‍්‍රජාවන්ට හෙවත් අනන්‍ය සංස්කෘතික කණ්ඩායම්වලට සිය සාමූහික සංස්කෘතික අනන්‍යතාවන් ස්වකීය අභිමතය පරිදි පවත්වා ගැනීමට හා අදාළ ජයග‍්‍රහණයන් භුක්ති විඳීමට ඇති අයිතිය (සංස්කෘතික අයිතීන්) සහතික කොට ආරක්‍ෂා කරන්නා වූ ද ක‍්‍රියාදාමයකි. මීට අනුබද්ධව විශිෂ්ට කලාත්මක ජයග‍්‍රහණයන් ආශ‍්‍රය කිරීමට හා භුක්ති විඳීමටත්, කලා කෞශල්‍යයන් වර්ධනය කර ගැනීමටත්, සීමා හරහා කලා ප‍්‍රකාශනයට හා හුවමාරුවටත් ඇති අයිතීන් සමුච්ඡුය සියළු පුරවැසියන්ට සහතික කොට ආරක්‍ෂා කර දීමට ප‍්‍රජාතන්තී‍්‍රය රජයකට මග හැරිය නොහැකි වගකීමක් ඇති බව අවධාරණය කළ යුත්තේය.

3. ගැටළුව; කලාවට, කලාකරුවන්ට සහ කලා අධ්‍යාපනයට ආධාරක වන අන්තර්-ව්‍යුහ වර්ධනය පිණිස අවශ්‍ය කෙරෙන විධිමත් හා සැලසුම්සහගත ආයතනික ක‍්‍රියාදාමයන් නොමැති වීම.

දැනට පවතින රාජ්‍ය සංස්කෘතික ආයතනනික පද්ධතිය තුළ මෙකී ගැටළුවට සාර්ථකව මුහුණ දී රටේ විවිධ කලා ක්‍ෂේත‍්‍රයන්ගේ වර්ධනයට සෑම අතින්ම උරදිය හැකි ප‍්‍රමුඛතර ආයතනය විය හැක්කේ කලා මණ්ඩලයටයි. නමුත් මෙකී කාර්යභාරය සඳහා එය විසින් ප‍්‍රමාණවත් ආයතනික ශක්‍යතාවක් හිමිකර ගැනීමට නම් කලා මණ්ඩලය දැන් පවත්නා දුර්වල සහ පරාධීන තත්වයෙන් ගොඩගත යුතුය; එහි මෙහෙවර සහ අභිමතාර්ථ පුළුල් පරාසයකට ගෙන එමින් ව්‍යුහාත්මක බලගැන්වීමකට එය යොමු කරනු ලැබිය යුතුය. විශේෂයෙන්ම බල-දේශපාලන අවශ්‍යතාවන්ගෙන් ස්වායත්තව, ස්වාධීන පදනමක සිට එය මෙහෙයවා ගැනීමට අවශ්‍ය නිදහස නැවත එය වෙත ලබා දී එම පදනම ආරක්‍ෂා වන නෛතික හා ව්‍යුහාත්මක තත්වයන් ඊට සහතික කළ යුතුය. මේ සියල්ල නිසි පරිදි වන්නට නම් එය නැවත ගොඩනැගීම හා ඉදිරියට ගෙන යෑම      ප‍්‍රජාතන්ත‍්‍රවාදී මෙන්ම පාරදෘශ්‍ය ක‍්‍රියාදාමයක් බවට පත් කළ යුතුය.

4. තුන්වන ගැටළුවට අදාළව තවදුරටත්; රටේ කලා නිෂ්පාදනය සහ කලාවේ සර්වාකාර ප‍්‍රගතියට අදාළ කටයුතු සඳහා මහජන අරමුදල් සම්පාදනය නොවීම.

මෙම ගැටළු ශීර්ෂය යටතේ සංස්කෘතික පෝෂණය, අන්තර්-සංස්කෘතික සහජීවනය, සමාජ යහපැවැත්මට හා සංවර්ධනයට අදාළ කලා නිෂ්පාදනය, කලාකරුවන්ගේ පුද්ගලික හා වෘත්තික ජීවිතයේ යහපැවැත්ම යනාදිය අවධානයට හසුවේ. මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා මහජන අරමුදල් ගොඩනැගීම හා සම්පාදනය සඳහා ආයතනික හස්තයක් සංස්ථාපනය කිරීම අනිවාර්ය වන අතර වෙනත් බොහෝ ශිෂ්ට රටවල මෙන් ‘ජාතික සංස්කෘතික අරමුදලක්’ පිහිටුවීම එහිලා තීරණාත්මක අගයක් ගනු ඇත. දැනට ක‍්‍රියාත්මක වන මධ්‍යම සංස්කෘතික අරමුදල පුරාවිද්‍යාව හා උරුමය යනාදී ක්‍ෂේත‍්‍රයන් පිළිබඳ පර්යේෂණ සඳහා වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරන්නේය. එම අරමුදල අපගේ සංස්කෘතික ජීවිතයට ධනාත්මක අගයක් එකතු කරමින් තිබෙන බව සැබෑය. අප මෙහිදී අවධාරණය කරන්නේ ජීවමාන සංස්කෘතිය විධිමත් ලෙස පෝෂණය කිරීම සඳහා වඩා වැඩි බරක් හා උනන්දුවක් නූතන ශිෂ්ට රජයක් විසින් දැරිය යුතු බවයි.
මෙම ජාතික සංස්කෘතික අරමුදල සහ අරමුදල් ගොඩනැගීමේ ආයතනික හස්තය ස්වාධීන ආයතනයන් විය හැකිය. නො එසේ නම් එ්වා ඇතැම් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ක‍්‍රියාත්මක වනවා මෙන් විශාල ලෙස ශක්තිමත් කරන ලද කලා මණ්ඩලයට අනුබද්ධ ආයතනයන් ලෙස පවත්වාගත හැකිය.
මෙකී කාර්යභාරය ඉටු කිරීමෙන් ලැබෙන සමාජ ලාභය සම්පූර්ණ වන්නට නම් අරමුදල් හා සම්පත් බෙදාහැරීම සම්බන්ධ තවත් කාර්යයක් ද සම්පූර්ණ වීම වගබලාගත යුතුය; එය නම් දේශපාලඥයන් විසින් පවත්වාගෙන යන සදාචාර විරෝධී වැඩවසම් අනුග‍්‍රාහක ක‍්‍රම මුළුමනින් අහෝසි කිරීමයි. දැනට සිදුවෙමින් තිබෙන්නේ තෝරා ගන්නා ලද කලාකරුවන් ස්වල්ප දෙනෙකුට තම දේශපාලන අන්තේවාසික වැඩ ඉටු කර ගැනීම සඳහා ‘වරප‍්‍රසාද’ පිරිනැමීම යන වේශයෙන් විවිධාකාර අල්ලස් ලබා දීමයි. ‘වරප‍්‍රසාද’ කතිකාවේ වැඩවසම් ස්වභාවය හා ජුගුප්සාජනක ස්වභාවය එළිදරව් කිරීමට දැන් කාලය පැමිණ ඇතැයි අපි සිතමු. කෙටියෙන් කිවහොත් සදාචාර විරෝධී, ආවෘත සහ අවිධිමත් ආකාරයට කලාකරුවන් වෙත අරමුදල් හා වෙනත් සම්පත් සංස්කෘතික අමාත්‍යාංශය හෝ වෙනත් රාජ්‍ය මූලාශ‍්‍ර විසින් ලබා දීම නීති විරෝධී කටයුත්තක් බවට පත් කළ යුතු අතර, අප විසින් මෙහිලා නිර්දේශිත පරිදි විධිමත් සැලැස්මක් හා නිශ්චිත ආයතනික ක‍්‍රියාවලියක් යටතේ, පාරදෘශ්‍ය ක‍්‍රමවේදයක් අනුගමනය කරමින් කලා නිෂ්පාදන, කලා පර්යේෂණ ව්‍යාපෘති, කලා ආයතන සහ ප‍්‍රජාවන්ගේ සංස්කෘතික ක‍්‍රියාවන් සඳහා අරමුදල් හා වෙනත් අදාළ අනුග‍්‍රහයන් ලබාදීම සිදු කළ යුතුය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශිෂ්ට සමාජයක් තුළ කලා නිෂ්පාදනය උදෙසා මහජන අරමුදල් ප‍්‍රමාණවත් ලෙස සම්පාදනය කිරීමට රජයට සහ සමාජයට වගකීමක් ඇති බව මෙහිලා අවධාරණය කරන්නේමු.
වාණිජ ප‍්‍රාග්ධනය සහ ලාභය මුල් කර ගන්නා සංස්කෘතික කලා කර්මාන්ත ක්‍ෂේත‍්‍රය වෙත අප මේ ලේඛණය තුළ විශේෂ වශයෙන් යොමු නොවූ වත් එම ක්‍ෂේත‍්‍රය රටේ සංස්කෘතික ජීවිතය තුළ විශාල බලපෑම් ධාරිතාවක් දරණ බව සැලකිල්ලට ගැනීම අවශ්‍යය. අප විශ්වාස කරන්නේ සමාජය ඉදිරියේ වගකීමකින් බැඳුණු කලා සංස්කෘතික නිෂ්පාදන සඳහා ශක්තිමත් පදනමක් තහවුරු වී, එ් කරන කොට බලගතු සංස්කෘතික ප‍්‍රවාහයක් නිර්මාණය වන විට වාණිජ සංස්කෘතික නිෂ්පාදන ක්‍ෂේත‍්‍රය සහ ඊට ආබද්ධ වෙළෙඳ පොල ඉබේම කලාවට, සමාජයට හා කලාකරුවන්ට වඩා අර්ථාන්විත මෙහෙයක් සලසන ධනාත්මක පරිවර්තනයකට ලක් වීම අනිවාර්ය බවයි.

5. ගැටළුව; කලාව සහ සංස්කෘතිය සමඟ සබැඳි ආයතන දේශපාලනීකරණයට ලක් වීම.

මේ වූ කලි ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන සම්බන්ධව පවතින පොදු හා බැරැරුම් තත්වයකි. මේ කාරණය පිටුපස  වැඩවසම් සමාජ සම්බන්ධතාවල පුනරාගමනය මෙන්ම විධායක ජනාධිපති ක‍්‍රමයට ආබද්ධ රාජ්‍ය ව්‍යුහයන්ගේ ගැටළුසහගත පරිවර්තනයන් ද දක්නට ලැබේ. එනමුත් රාජ්‍යය සමස්ථයක් වශයෙන්, විශේෂයෙන් එහි දේශපාලනික ව්‍යුහයන් සංස්කරණයට භාජනය වන තුරු නැතහොත් අවශේෂ ආයතන නිර්දේශපාලනික වනතුරු සංස්කෘතික ක්‍ෂේත‍්‍රය බලා සිටිය යුතු ද? අප කියන්නේ නැත කියායි. සිදුවිය යුත්තේ සංස්කෘතික ක්‍ෂේත‍්‍රය තුළ යටකී කාර්යභාරය ඉටු කිරීම සඳහා පුරෝගාමී පියවරක් තැබීමයි. එය කළ නොහැක්කක් නොවන බව, උදාහරණයක් වශයෙන්, දුර්වල කරනු ලැබූ දේශපාලනීකරණය කරනු ලැබූ ශ‍්‍රී ලංකා කලා මණ්ඩලය යටතේ ඇති කුඩා එ්කකයක් වූ නාට්‍ය අනුමණ්ඩලය පවා 70 දශකයේ සිටම නොයෙක් වර අභියෝගාත්මකව පෙන්වා ඇත.
අධිශ්ඨානය විය යුත්තේ රාජ්‍ය සංස්කෘතික ආයතන බල දේශපාලනයට නතු නොකොට ස්වාධීනව පවත්වා ගැනීමටයි. එ් සඳහා නෛතික මට්ටමේ ව්‍යුහාත්මක ආරක්‍ෂණ ක‍්‍රම සංස්ථාපනය කිරීම පමණක්      ප‍්‍රමාණවත් නොවන බව අප හොඳින් දනිමු. ධෛර්යවන්ත අදීන මිනිසුන් විසින් මෙම ආයතනය තුළ නව සම්ප‍්‍රදායක් පෙන්වා සිටින්නේ නම් හා අදාළ කලා සංස්කෘතික ප‍්‍රජාව විසින් ඔවුන්ට ශක්තිය ලබා දෙන්නේ නම් එම තත්වය මුළු රාජ්‍යයේ ස්වභාවය මෙකී අර්ථයෙන් පරිවර්තනය කිරීමට ආදර්ශයක් හා පිටු බලයක් වනු ඇත.
දැනට පවතින රාජ්‍ය ආයතන අතුරින් දේශපාලනීකරණය නිසා විශේෂ වශයෙන් අනතුරට පත් වූ ආයතන අතර ටවර් හෝල් රංග පදනම සහ චිත‍්‍රපට සංස්ථාව කැපී පෙනෙයි.

x    අගමැතිවරයා නිල බලයෙන් සභාපති වීමේ තත්වය ඇතුළුව ටවර් හෝල් රංග පදනම පනත තුළ අන්තර්ගත කොට ඇති එම ආයතනය දේශපාලනික ලෙස භාවිතා කිරීමේ හැකියාව ලබාදෙන සාධක අහෝසි කොට, එය ස්වාධීනව රටේ නාට්‍ය හා රංග කලා ක්‍ෂේත‍්‍රයේ බහුවිධ විශිෂ්ටත්වය උදෙසා ප‍්‍රබල මෙහෙවරක යෙදීම සහතික කරනු පිණිස එම පනත මුළුමනින් සංශෝධනය විය යුතුය.

x    චිත‍්‍රපට සංස්ථාව ආණ්ඩුවේ දේශපාලන බලවතුන්ගේ ගැත්තන් හා අන්තේවාසිකයින්ගේ විවේකස්ථානයක් බවට පත් වූ ද, මහජන මුදල් උදාසීන හා අසමත් අධ්‍යක්‍ෂ මණ්ඩලයක් හා කාර්ය මණ්ඩලයක් සමග හරි වැඩකට නොගන්නා තාක්ෂණික හා අන්තර් ව්‍යුහාත්මක සම්පත් සමුදායයක් නඩත්තු කිරීම සඳහා කාබාසිනියා කරන්නා වූ ද සුදු අලියෙකුගේ තත්වයට පත්කොට ඇති එහි වත්මන් සෝචනීය හා පිළිකුල් කටයුතු තත්වය අවසන් කළ යුතුය. එහි කටයුතු සිනමා කලාවේ අභිවෘද්ධියට හා චිත‍්‍රපටි කර්මාන්තයේ ව්‍යාප්තියට අදාළව ඉදිරියට ගෙන යෑමට මූලික මග පෙන්වීමක් කළ හැකි අධ්‍යයන වාර්තා කීපයක්ම ඇත. ඊට අමතරව අප සිතන්නේ චිත‍්‍රපටි සංස්ථාව ඉන්දියාවේ ජාතික හා ප‍්‍රාන්ත සිනමා ආයතන සමග සමීප කාර්ය සම්බන්ධයක් ගොඩනගා ගැනීම  එහි ඉදිරි දියුණුවට ප‍්‍රයෝජනවත් විය හැකි සාධකයක් බවයි.

6. ගැටළුව; රටේ සංස්කෘතික ජයග‍්‍රහණ භුක්ති විඳීමට පුරවැසියන්ට සමාන අවස්ථා අහිමි වීම.

පුරවැසියාගේ සංස්කෘතියට ඇති අයිතිය භුක්ති විඳීම ප‍්‍රායෝගික යතාර්ථයක් බවට පත් වීමට එරෙහිව ශ‍්‍රී ලාංකික සමාජය තුළ පෙනෙන නොපෙනෙන බාධක රාශියකි. කෙසේ නමුත් සංස්කෘතික ක‍්‍රියා ක්‍ෂේත‍්‍රය තුළ ආරම්භයක් සඳහා සුදුසු ක‍්‍රියාමාර්ගයක් වනුයේ ප‍්‍රාදේශීය මට්ටමින්, ප‍්‍රජා මට්ටමින් කලා සංස්කෘතික කටයුතුවල තත්වය සෑම අතින්ම නගාසිටුවීමට පිටු බලය දෙනු සඳහා කලා මණ්ඩලය විසින් විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමයි. කෙසේ නමුත් එය ‘කේන්ද්‍රයේ සිට ප‍්‍රාදේශීය අනන්‍යතාවයන් අසංවේදී ලෙස මට්ටම් කොට විනාශ කිරීමේ’ ක‍්‍රියාදාමයක් බවට පත් නොවීම සහතික විය යුතුය. මේ සඳහා අප යෝජනා කරන්නේ දැනට දැක්මක් සහ සැලැස්මක් නැතිකම, අරමුදල් හිඟකම හා නුපුහුණු කාර්යධරය නිසා විශාල වශයෙන් අකර්මන්‍ය වී ඇති සංස්කෘතික මධ්‍යස්ථාන පද්ධතිය ප‍්‍රාදේශීය සංස්කෘතික කලා ජීවිතයේ සැබෑ ශක්තිජනක කේන්ද්‍ර බවට පෙරලීමට විධිමත් ආරම්භයක් ගත යුතු බවයි. මෙම මධ්‍යස්ථානවල කටයුතු සැලසුම් කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම අදාළ ප‍්‍රාදේශීය විද්වතුන් හා කලාකරුවන්ගේ සැබෑ සහභාගීත්වය මත සිදුවීම අත්‍යාවශ්‍යය. මේ සඳහා ‘ජනතා සංස්කෘතික සභා’ වැනි ව්‍යුහයක් ව්‍යවස්ථාපිතව පිහිටුවා එ්වා බිම් මට්ටමේ වැදගත් සංස්කෘතික එ්ජන්සියක් බවට පත් කෙරෙන්නේ නම් එම ක‍්‍රියාකාරීත්වය සමස්ථ ජාතික කලා සංස්කෘතික ජීවිතයේ ම යහපත් පරිවර්තන උදෙසා නව මානයක් එකතු කරනු ඇත.
මේ ලෙස සංස්කෘතික මධ්‍යස්ථාන හරහා රටේ සංස්කෘතික සම්පත් හා කටයුතු ප‍්‍රබල හා අර්ථාන්විත ලෙස ‘විමධ්‍යගත කිරීමක්’ එක් පැත්තකින් යෝජනා කරන අපි, කෙසේ නමුත් අනිත් අතින් සංස්කෘතික මධ්‍යස්ථානවලට අනුබද්ධ මානව ශක්‍යතාවන් නිරතුරුව දියුණු කිරීම හා එ්වායේ කටයුතු අධීක්‍ෂණය කිරීම සඳහා මධ්‍යම ‘සම්බන්ධීකරණ හා පුහුණු ආයතනයක් ’ කලා මණ්ඩලය යටතේ පිහිටුවීමට ද යෝජනා කරමු.
කෙසේ නමුත් ප‍්‍රාදේශීය හා ප‍්‍රජා මට්ටමින් ‘සංස්කෘතික විමධ්‍යගතකරණය’ පිළිබඳ යටකී ක‍්‍රියාමාර්ගය සංස්කෘතික ජයග‍්‍රහණ භුක්ති විඳීම සඳහා සෑම පුරවැසියෙකුටම ඇති අයිතිය යතාර්ථයක් කිරීම සම්බන්ධයෙන් පූර්ණ පිළිතුරක් දෙන්නේ නැත. මෙහිලා ඉතා මූලික ප‍්‍රශ්නයක් වන්නේ රටේ  ඕනෑම තැනක නිර්මාණය වන කලාත්මක වශයෙන් විශිෂ්ට නාට්‍ය, ප‍්‍රසාංගික හා සිනමා කෘති පුරවැසියන්ට සමානව භුක්ති විඳීමට අවස්ථාව දියුණු කරන්නේ කෙසේද යන්නයි. මෙහ ිලා ලංකාවේ සන්දර්භයට උචිත එ්තරම් දුෂ්කර නොවන එක් විසඳුමක් වන්නේ චූල-රංග ශාලා (වේදිකාවද සිනමා තිරයද අඩංගු කර ගන්නා මිනි තියටර්) පද්ධතියක් රට පුරා ප‍්‍රාදේශික වශයෙන් පිහිටුවීමයි. මේවා පලාත් සභා හෝ ස්වාධීන ප‍්‍රජා ව්‍යුහයන් විසින් හෝ නඩත්තු කළ හැකිය. මෙම රංග ශාලාවලින් ලැබෙන ආදායම ප‍්‍රාදේශීය සංස්කෘතික අරමුදල් ගොඩනැගීම සඳහා යොමු කළ හැකිය.

07. ගැටළුව; ශ‍්‍රී ලාංකික සංස්කෘතියේ ඇතැම් ප‍්‍රධාන සංරචක රාජ්‍ය නිල කටයුතු, ආයතනික සිදුවීම් හා උත්සව තුළින් බැහැර කිරීම.

ශ‍්‍රී ලාංකික සංස්කෘතියේ විවිධත්වය හා බහුවිධ ස්වභාවය රාජ්‍යය තුළින් ප‍්‍රක්ෂේපණය නොවන තාක් දුරට නූතන ශ‍්‍රී ලාංකික ජාතිකයක් ගොඩනැගීම හුදෙක් සිහිනයක් වනු ඇත. මෙහිලා ‘රජයේ සංස්කෘතික මුහුණත’ සකස්වන ආකාරය ඉහත ප‍්‍රශ්නය කෙරෙහි විශාල බලපෑමකින් යුක්තය. දැනට සිදුවන රාජ්‍ය නිල කටයුතු, ආයතනික උත්සව, නිල ජාතික උත්සව  තුළ ගැටළු දෙකක් දක්නට ලැබේ. එකක් නම් එකී සංස්කෘතික මුහුණත වැඩවසම් සංඥවන්ගෙන් පිරී පැවතීමයි. අනෙක වන්නේ එය රටේ ප‍්‍රධාන වාර්ගික ආගමික අනන්‍යතාවන් ගණනාවක් බැහැර කොට තනිකර සිංහල-බෞද්ධ හැඩයක් ගැනීමයි. නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක පොහොසත් සංස්කෘතික මුහුණතක් නිර්මාණය කිරීමට නම් යටකී ගැටළුසහගත සංස්කෘතික ප‍්‍රක්ෂේපන මකා දැමිීම හෝ සාධනීය ලෙස පරිවර්තනය කිරීම අවශ්‍ය වේ.

මෙම ලේඛණය තුළ අප ඉදිරිපත් කර සිටින යෝජනා සමූහය එම ලේඛණයේ මුල් භාගය තුළ ඉදිරිපත් කෙරෙන සෑම ගැටළුවක්ම ආවරණය නොකරන බවත් මූලික වෙනසක් කිරීම සඳහා අවශ්‍ය යැයි අපට පෙනෙන ඉතා තීරණාත්මක ප‍්‍රශ්න ගණනාවකට පමණක් ආමන්ත‍්‍රණය කර ඇති බවත් කිව යුතුය. එසේ වුවද මෙතෙක් රජය (හෝ සිවිල් සමාජය) විසින් අතගසා නැති ‘කුල විභේදනය නිසා සිදුවන මානව හිමිකම් උල්ලංඝණය’ වැනි ප‍්‍රශ්නයක් මගහැර යාම සුදුසු නැති නමුත් එය සංකීර්ණ සමාජ හා දේශපාලන ප‍්‍රශ්නයක් ද වන බැවින් එ් සඳහා සංස්කෘතික ක්‍ෂේත‍්‍රයට පමණක් සීමා නොවූ ක‍්‍රියාමාර්ග අවශ්‍ය බව කිව යුතුය. කෙසේ නමුත් කුල විභේදනය තුළින් ඉකුත් වන විනාශකාරී සංස්කෘතික භාවිතාවන් පරිවර්තනය කිරීම ප‍්‍රබුද්ධ රාජ්‍ය සංස්කෘතික වැඩපිළිවෙලක අන්තර්ගත විය යුතු අංගයක් බව කියා සිටින්නෙමු. මේ පිළිබඳ ප‍්‍රමාණවත් අධ්‍යයනයක් දියත් කිරීම මෙහිලා ආරම්භක පියවරකි.
එමෙන්ම දරුවන් හදාවඩා ගැනීම යන ක්‍ෂෙත‍්‍රය තුළ ද දරුවාගේ ස්වායත්තභාවය හා ස්වාධීනත්වය වැඩිහිටියන් විසින් භාර නොගැනීම මුල්කොට ගත් විනාශකාරී සංස්කෘතික භාවිතාවන් ලාංකික සමාජය තුළ සුලභය. මේ කාරණය බැලූ බැල්මට ළමා අයිතීන් සුරැකීම උදෙසා දැනට පවත්නා ආයතන පද්ධතිය විසින් භාරගත යුතු ප‍්‍රශ්නයකි. එනමුත් නැවතත් සටහන් කළ හැක්කේ ප‍්‍රබුද්ධ සංස්කෘතික වැඩපිළිවෙලක් තුළට අනාගත පරම්පරාවේ මනෝ-කායික නිරෝගීබව හා සමාජයීය හා සංස්කෘතික වශයෙන් පොහොසත් බව අරමුණු කර ගන්නා සංවිධිත ක‍්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බවයි.
මේ ලේඛණයේ ලා ජනතාවගේ සංස්කෘතික-අධ්‍යාත්මික ජීවිතයේ යහපැවැත්ම හා උන්නතිය කෙරෙහි කලා සංස්කෘතික ක්‍ෂේත‍්‍රය සමග ගැඹුරු අන්තර්-සම්බන්ධතාවයක් දක්වන අනෙක් ක්‍ෂේත‍්‍ර යුගල වන මාධ්‍ය හා අධ්‍යාපනය පිළිබඳ ගැටළු හා විසඳුම් කෙරෙහි අප යොමු නොවන්නෙමු. එම ක්‍ෂේත‍්‍රවල ප‍්‍රබුද්ධ පරිවර්තනයන්ට උරදිය හැකි දැනුමක් අදාළ ප‍්‍රබුද්ධ ක‍්‍රියාකාරීන් හා විද්වතුන් විසින් මේ වන විට සෑහෙන තරම් දුරට සම්පාදිතව තිබෙන හෙයිනි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s