යටත්විජිතකරණය හා ගෘහනීකරණය

Posted: January 13, 2011 in ඉතිහාස

ජර්මනියේ ව්‍යවහාරික විද්‍යාවන් පිළිබඳ කලෝන් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක වන මාරියා මීස් 1960 ගණන් වල අගභාගයේ සිට ස්ත‍්‍රි ව්‍යාපාර ක‍්‍රියාකාරීනියක් ලෙසිනුත්, ස්ත‍්‍රි අධ්‍යනයන්හීත් කටයුතු කර ඇත. 1979 දී ඇය නෙදර්ලන්තයේ හේග් නුවර සමාජ විද්‍යාඥයින්ගේ ආයතනයේ කාන්තා සහා සංවර්ධන වැඩපිළිවල පිහිටෙව්වාය. ස්ත‍්‍රිවා දී පාරිසරික විද්‍යාත්මක සහ තුන් වන ලෝකය සම්බන්ධ ගැටඵ පිළිබඳ ලේඛණ සහ පොත් ගණනාවක් ඇය විසින් ප‍්‍රකාශයට පත් කර ඇත. 1993 දී ඉගැන්විමෙන් විශ‍්‍රාම ගිය ඇය කාන්තා හා වෙනත් සමාජ ක‍්‍රියාකාරීත්වයන් තුළ දිගටම කටයුතු කරගෙන යයි. ඇය විසින් රචිත කෘති අතර, Indian Women and Patriarchy, Patriarchy and Accumulation On a World Scale In Women : The Last Colony ප‍්‍රධාන වේ. ‘‘යටත්විජිතකරණය හා ගෘහනීකරණය’’ ලෙසින් පරිවර්තිත මේ ලිපිය ඇයගේ Patriarchy and Accumulation on a World Scale කෘතියෙන් උපුටා ගන්නා ලද්දකි.

  • මෙම ලිපිය අප විසින් ප‍්‍රකාශයට පත් කෙරුනු ඉතිහාස සඟරාවේහි ඵල කරන ලද්දකි. මේ හරහා යටත් විජිතකරණය සම්බන්ධයෙන් මාරියා මීස් හෙලන තියුනු ස්ත‍්‍රීවාදී බැල්ම පුලූල් අවකාශයක් තුළ සාකච්ඡා වීම වැදගත් යැයි අප සිතමු. මේ නිසා මෙම ලිපිය අපගේ බ්ලොග් අඩවියෙහි කොටස් වශයෙන් නැවත පලකරමු.

 

යටත්විජිතකරණය හා ගෘහනීකරණය (I – කොටස)

ප‍්‍රගතියේ හා පසුගමනයේ දයලෙක්තිය

පොදුවේ ශ‍්‍රම විභජනයේ ඓතිහාසික සංවර්ධනයත්, සුවිශේෂීයව ශ‍්‍රමයේ ලිංගික විභේදනයත්, හැමදා වර්ධනය වෙමින් තිබෙන නිෂ්පාදන බලවේගවල (ප‍්‍රධාන වශයෙන් තාක්‍ෂණයේ) සහ සුවිශේෂීකරණයේ පරිණාමීය හා සාමකාමී ක‍්‍රියාවලියක් වුයේ හෝ වන්නේ හෝ නැත. එය වනාහි පළමුව ඇතැම් මිනිස් ප‍්‍රවර්ගත්, පසුව සමහර ජනතාවනුත් විසින් අවි බලයේ හා යුද්ධයේ ආධාරයෙන් තමන් සහ කාන්තාවන් අතරත්, වෙනත් ජනතාවන් හා පංති අතරත්, ප‍්‍රචණ්ඩාකාරයෙන් පිහිටුවන ලද සූරාකෑමේ සම්බන්ධයකි.

ස්වභාවයෙන් ම පීතෘමූලික වන එවැනි ප‍්‍රාථමික නිෂ්පාදන මාදිලියකදී යුද්ධය හා ආක‍්‍රමණය වඩාත්ම ‘ඵලදායී‘ නිෂ්පාදන මාදිලි බවට පත් වේ. (කිසියම් ප‍්‍රජාවක ශ‍්‍රමය මත ස්ථාවරව නොපවතිමින්, හුදෙක් ම කොල්ලකෑම මත පදනම්ව) ද්‍රව්‍යමය ධනය ක්‍ෂණිකව ගොඩගසා ගැනීම ආක‍්‍රමණය හා යුද්ධය මත පදනම් වූ එ සමාජයන්හි ශීඝ‍්‍ර ආර්ථික වර්ධනයක් ඇති කරයි. එහෙත් මෙම තාක්‍ෂණික සංවර්ධනය සමාජයේ යැපුම් අවශ්‍යතා දෙසට යොමු නොවී තව තවත් යුද්ධයට ආක‍්‍රමණයට හා ගොඩගසා ගැනීමට ම යොමු වේ. ආයුධ හා ප‍්‍රවාහන තාක්‍ෂණයේ සංවර්ධනය සෑම පීතෘ මූලික සමාජයකටමත්, විශේෂයෙන් ම 15 වන සියවසේ සිට මුළු ලෝකයම ආක‍්‍රමණය කර යටත් කර ගත් නූතන යුරෝපීය ධනේෂ්වර සමාජයේ තාක්‍ෂණික නිර්මාණශීලිත්වයටත් තල්ලූව සැපයීය. මෙම විශේෂිත පීතෘමූලික ශිෂ්ඨාචාරයේ මතුවු ‘ප‍්‍රගතිය‘ පිළිබඳ සංකල්පය යුද්ධයේ හා ආක‍්‍රමණයේ එකපාක්‍ෂික සංවර්ධනය නොමැතිව ඓතිහාසිකව සිතා ගැනීමටවත් නොහැකිය. සියලූ යැපුම් තාක්ෂණයන් (සංරක්‍ෂණයටත්, ආහාර, ඇඳුම් හා නිවාස ආදිය නිෂ්පාදනය සඳහාත් වූ) මේ අනුව ආක‍්‍රමණයේ හා යුද්ධයේ තාක්ෂණයේ (නැව් ගමනාගමනය, මාලිමාව වෙඩි බෙහෙත්) ‘ප‍්‍ර‍්‍රාතිහාර්යයන්ට‘ සාපේක්‍ෂව ‘පසුගාමී‘ ලෙස පෙනිණි.

ප‍්‍රාථමික පීතෘමූලික ශ‍්‍රම විභජනය මූලිකව ම පදනම් වී තිබෙන්නේ මිනිසුන් ව්‍යුහාත්මකව වෙන්කිරීම හා යටපත් කිරීම මත ය, පිරිමින් ඔවුන් විසින් ම යටපත් කරන ලද ගැහැණුන්ගෙන් වෙන් කෙරෙන අතර ‘තමන්ගේ‘ මිනිසුන් ‘විදේශිකයන්‘ හෝ ‘අශිෂ්ටයන්‘ කෙරෙන් වෙන් කරන ලදි. පැරණි පීතෘමූලික සමාජයන්හි මෙම වෙන් කිරීම කිසිසේත්ම පූර්ණත්වයට පත් නොවු මුත් නූතන ‘බටහිර‘ පීතෘමූලික සමාජයෙහි එම වෙන් කිරිම මිනිසා හා පරිසරය දක්වා ද විහිදිණි. චීනය, ඉන්දියාව, අරාබිය වැනි පීතෘමූලික සමාජවල මිනිසාට තමන් මිහිමවගෙන් සම්පූර්ණයෙන් ම ස්වායක්ත වූවන් ලෙස වටහා ගත නොහැකි විය. ආක‍්‍රමණය කර යටත් කර ගන්නා මිනිසුන්, වහලූන් හා පිටස්තරයන් ආදීන් පවා ආර්ථිකයෙන් මුළුමනින්ම පිටමං කරන ලදවුන් ලෙස නොසැලකිණි. ගැහැණුන් යටපත් කර ගෙන සූරා කෑමකට ලක්කර තිබුණ මුත්, පුතුන්ගේ මවුන් ලෙස සියලූ පීතෘමූලික සමාජයන්හි ඔවුහු ඉතා වැදගත් වූහ. එබැවින් B. Ehrenreich සහ D. English මෙම පූර්ව නූතන පීතෘමූලික සමාජයන් නාරිකේන්ද්‍රිය (gynocertric) ලෙස සැලකීම නිවැරදි යයි මම සිතමි. මිනිස් මව හා මිහිමව නොමැතිව කිසිදා පීතෘමූලික සමාජයක් පැවතිය නොහැකි බව ඔවුහු කීහ. මහා පරිමාණ ආක‍්‍රමණය සහ යටත් විජිත සූරාකෑම ද, ලෝක වෙළඳපොලේ ද මතු වීම සමඟ නව පීතෘමූලිකයනට සූරාකෑමට අවශ්‍ය වූවන් බැහැර කිරීමට (externalize) හා භූමියෙන් පිටස්තර කිරීමට (exteritorialize) හැකි විය. යටත් විජිත තව දුරටත් ආර්ථිකයේ හෝ සමාජයේ කොටස් ලෙස නොසැලකුණ අතර එවා තිබුණේ ශීෂ්ට සමාජයෙන් පිටතය. මේ අනුව යරෝපීය ආක‍්‍රමණිකයන් මෙම ‘නෑඹුල් බිම්‘ ‘විනිවිදිද්දි‘ එහි වැසියන් ‘ස්වභාවීකරණය‘ කරන ලදී. ඔවුන් සූරා කෑමට පාත‍්‍ර වීම පිණිස බලා සිටින වනචාරී, ම්ලේච්ඡුයන් හා පුරුෂ ශිෂ්ඨාචාරකයන් විසින් හීලෑ කරන ලද්දවුන් ලෙස ප‍්‍රකාශයට පත් කරන ලදී.

මේ හා සමාන අන්දමින්, බටහිර විසින් සොබාදහම හෝ පොළව හෝ සමග මිනිස් වර්ගයාගේ සම්බන්ධය ද සටන්කාමී ලෙස වෙනස් කරන ලදී. Carolyn Merchant පැහැදිලිව පෙන්වා දී ඇතිපරිදි නූතන විද්‍යාවේ හා තාක්‍ෂණයේ නැගීම මේ තාක් දුරට පණ ඇති දෙයක් ලෙස සැලකුණ මිහිමවට ප‍්‍රචණ්ඩ ලෙස පහර දීම හා දුෂණය කිරීම මත රදා පැවතිණි. නවීන විද්‍යාවේ පියා ලෙස සැලකෙන Francis Bacon යනු පල්ලිය මායාකාරියන්ගේ රහස් දැන ගැනීම සඳහා භාවිතා කළ හිංසනය හා ප‍්‍රශ්න කිරිමේ ක‍්‍රමවේදය ම භාවිතා කරමින් මිහිමවගෙන්ද රහස් උකහා ගත යුතුබව දේශනා කළ අයෙකි. පතල් හෙවත් මිහිමවගේ කුස තුළ ගැඹුරු වළවල් හෑරීම පිළිබඳ පැවති තහංචි බිඳ දමන ලදී. එසේ කළේ අලූත් පීතෘමූලිකයන්ට ‘පොළෝ ගැබ තුළ‘ සැඟවුණ වටිනා ලෝහ සහ වෙනත් ‘අමුද්‍රව්‍ය‘ උදුරා ගැනීමට අවශ්‍ය වූ හෙයිනි. යාන්ත‍්‍රික, භෞතිකවාදී ලෝක දැක්මක් වූ නවීන විද්‍යාවේ නැගීම පදනම් වූයේ පණ ඇති දෙයක් ලෙස සැලකුණ සොබා දහම ඝාතනය කිරීම හා එය ’ස්වභාවික සම්පත්’ හා ද්‍රව්‍යවල මහා සංචිතයක් බවට පරිවර්තනය කිරීම මතයි. මිනිසාට මිහිමවගෙන් ස්වායක්ත වීම සඳහා උපයෝගී කර ගත හැකි අලූත් යන්ත‍්‍ර තුළට එවා විශ්ලේෂණය හා සංස්ලේෂණය කර ගත හැකි ය.

පීතෘමූලිකයන් හා සොබාදහම අතරත්, පිරිමියා හා ගැහැනිය අතරත් ද්විත්ව ස්වභාවය හෙවත් ධ‍්‍රැවීකරණයට එහි පූර්ණ හා තිරසාර විනාශකාරී විභවයෙන් යුතුව වර්ධනය වීමට පුළුවන් වන්නේ දැන් ය. මෙතැන් සිට විද්‍යාව හා තාක්‍ෂණය මිනිසාට සොබාදහමෙන් මෙන්ම ගැහැනියගෙන් ද විමුක්තිය ලබා ගත හැකි ප‍්‍රධාන ‘ඵලදායී‘ බලෙවිග බවට පත් වේ.

Carolyn Merchant පෙන්වා දෙන පරිදි ජීවී දෙයක් ලෙස සොබාදහම විනාශ කිරීමත්, පිරිමි විද්‍යාඥයින් අලූත් අධිපූජකයන් ලෙස මතු වෙමින් නූතන විද්‍යාව හා තාක්ෂණය ඉස්මතු වීමත්, සියවස් හතරක් පුරා යුරෝපයේ මුළු දුන් මායාකාරියන් දඩයම හරහා ස්තී‍්‍රන්ට එල්ල කළ ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයත් අතර සමීප සමාන්තරකමක් ඇත.

Merchant අලූත් මිනිසුන්ට තම යටත් විජිත සමග ඇති සම්බන්ධය දක්වා සිය විශ්ලේෂණය ඉදිරියට ගෙන යන්නේ නැත. එහෙත් මෙම සම්බන්ධය අවබෝධ කරගැනීම අත්‍යවශ්‍ය ය. මක් නිසාද යත්, සොබාදහම තුළට නවීන ධනේෂ්වර පීතෘමූලිකයන් විසින් අර්ථකථනය කරන ලද මිහිමව, ස්තී‍්‍රය, හා යටත් විජිත වැනි සියල්ල අඩංගු කර නොගතහොත්, අපට අපගේ වර්තමාන ප‍්‍රශ්න ඇතුළු නවීන සංවර්ධනයන් වටහා ගත නොහැකි ය.

නූතන යුරෝපීය පීතෘමූලිකයන් යුරෝපීය මිහිමවගෙන් ස්වාධීන වූහ. එසේ කළේ පළමුව ඇමෙරිකාව ද, පසුව ආසියාව හා අප‍්‍රිකාව ද යටත් කර ගැනීමෙන් සහ බොලීවියාව, මෙක්සිකෝව හා පේරු වෙතින් රන් හා රිදීත්, වෙනත් භූමිවලින් තවත් අමුද්‍රව්‍ය හා සුඛෝපභෝගී භාණ්ඩත් උදුරා ගැනීමෙනි. ඔවුහු එක අතකින් උපත් පාලන ක‍්‍රමාදී දැනුම හා මායාකාරියන් විනාශ කිරීම ඔස්සේ ශ‍්‍රමිකයන් නිෂ්පාදනය කිරීමේදී යුරෝපීය කාන්තාවන් මත යැපීමෙන් මිදුණහ. අනෙක් අතින්, වැඩුණු අප‍්‍රිකානු ගැහැණුන් හා මිනිසුන් වහල්භාවයට යටපත් කර ගැනීමෙන් ඇමෙරිකාවේ හා කැරිබියන් දුපත්වල තම වතු වගාවන් සඳහා අවශ්‍ය ශ‍්‍රම බලකාය ද අත්පත් කර ගත්හ.

ෙමි අනුව යුරෝපීය ‘මහ මිනිසුන්ගේ‘ ප‍්‍රගතිය පදනම්ව ඇත්තේ තමන්ගේම ගැහැනුන් යටත් කරගෙන සූරාකෑම, සොබාදහම සූරාකෑම හා ඝාතනයත්, වෙනත් ජනතාවන් යටත් කරගෙන සුරාකෑමත් මත ය. එබැවින් මෙම ‘ප‍්‍රගතියේ‘ නීතිය හැමවිටම පරිණාමීය එකක් නොවෙමින් ප‍්‍රතිවිරෝධාත්මක එකක් බවට පත් වේ. එක පාර්ශවයකට ප‍්‍රගතිය අනෙක් පාර්ශවයට පසුගමනයක් විය. ඇතෙමෙකුට පරිණාමය තවත් අයෙකුට විපරිණාමයක් ෙවි. සමහරෙකුට මානුෂිකකරණය තවත් අයට මානුෂිකහරණයක් වේ. යමෙකුට නිෂ්පාදන බලවේගවල දියුණුව තවකෙකුට අසංවර්ධනය හා පසුගමනය බවට පත් වේ. ඇතැමෙකුට නැගීම තවකෙකුට වැටීමකි. එකෙකුගේ ධනය තවකෙකුටග් දිළිඳුකමයි. එක පාර්ශවීය ප‍්‍රගතියක් පැවතිය නොහැකි වීමට හේතුව කලින් ද සඳහන් කල පරිදි ප‍්‍රාථමික පීතෘමූලික නිෂ්පාදන මාදිලිය එකට නොයන සූරාකෑමේ සම්බන්ධයක් වීමයි. එවන් සම්බන්ධතාවක් තුළ සැමට පොදු ප‍්‍රගතියක් හෝ (සංවර්ධනය) පහළට කාන්දු වීමක් හෝ සැමට සංවර්ධනයක් හෝ සිදු විය නොහැක්කකි.

Engels ප‍්‍රගතියේ හා පසුගමනයේ එදිරිවාදී සබඳතාව පෞද්ගලික දේපල පැන නැගීමට සහ එක් පංතියක් විසින් තව පංතියක් සූරා කෑමට ආරෝපණය කරයි.

1884 දී හේ මෙසේ ලිවීය. ‘එක් පංතියක් විසින් තවත් පංතියක් සූරාකෑම ශිෂ්ඨාචාරයේ පදනම වූ හෙයින්, එහි සමස්ත සංවර්ධනයම චලනය වන්නේ අඛණ්ඩ ප‍්‍රතිවිරෝධතාවක ය. නිෂ්පාදනයේ සෑම දියුණුවක් ම අතිබහුතරය වන සුරාකෑමට ලක්වෙන පංතියේ අපගමනයක් වේ. එකක ජයක් අනෙකේ පරාජයක් වේ. එක් පංතියක සෑම අලූත් විමුක්තියක් ම හැම විටම වෙනත් පංතියක අලූත් පීඩනයක් වේ. (Engels, 1976:333)

එංගල්ස් කතා කරන්නේ සූරා කන හා සුරා කෑමට ලක්වන පංති අතර සම්බන්ධය පමණි. පිරිමි හා ගැහැනු අතරත්, යටත්විජිත පාලකයින් අතර හා යටත් විජිත අතරත්, ශිෂ්ඨ මිනිසා පොදුවේ සොබාදහමටත් ඇති සම්බන්ධය ඔහු මෙහිදී ඇතුළත් කර නොගනියි. එහෙත්, ශිෂ්ට සමාජයේ සැඟවුන පදනම ඇත්තේ මෙම සම්බන්ධතා තුළයි. අනිවාර්‘යයෙන්ම ධ‍්‍රැවීකරණය වී තිබෙන මෙම සම්බන්ධය වෙනස් කිරිමෙහි ලා ඔහු අදහස් කරන්නේ, පාලක පංතියට හොඳ දෙය, එම පංතියට අනන්‍යතාව ලබා දෙන සමස්ත සමාජයටම හොඳ විය යුතුය‘ යනුවෙනි. (Engels, 1976:333)

එහෙත් මෙම මූලෝපායේ තාර්කික ගැටළුව මෙසේය: ප‍්‍රතිවිරෝධාත්මක සුරාකෑමේ සම්බන්ධයකදී සූරාකන්නන්ගේ වරප‍්‍රසාද කිසි කලෙක සියලූ දෙනාගේ වරප‍්‍රසාද වන්නට බැරි ය. අගනගරවල ධනය යටත්විජිත සූරාකෑම මත පදනම් වන්නේ නම් යටත්විජිතවලට ද තමන්ගේම වූ යටත්විජිත නොමැතිව ධනය අත්පත් කර ගත නොහැකි ය. පිරිමින්ගේ විමුක්තිය ගැහැණුන් යටපත් කිරිම මත පදනම් වන්නේ නම්, ගැහැණුන්ට පිරිමින් සමග ‘සම අයිතිවාසිකම්‘ ලබා ගත නොහැකි ය. එතුළ අනිවාර්යයෙන්ම අනෙක් අය සූරාකෑමේ හිමිකම අඩංගු වේ.

එබැවින් ස්ත‍්‍රීවාදී විමුක්ති මූලෝපායක් විසින් පසුගාමි ප‍්‍රගතියේ මෙම සියලූ සබඳතා අහෝසි කිරීම ඉලක්ක කිරිම නොවැළැක්විය හැකිය. එහි අරුත නම්, එය විසින් පිරිමින් විසින් ගැහැණුන් ද, මිනිසුන් විසින් සොබාදහම ද, යටත්විජිතවාදීන් විසින් යටත්විජිත ද එක් පංතියක් විසින් අනෙක ද සුරාකෑම අවසන් කිරිම ඉලක්ක කළ යුතු බවයි. මේ එක් ආකාරයක සූරාකෑමක් දියුණුවේ (සංවර්ධනයේ, පරිණාමයේ, ප‍්‍රගතියේ, මානුෂිකකරණයේ ආදියේ) පූර්ව කොන්දේසියක්ව පවතින තාක් ස්තී‍්‍රවාදින්ට විමුක්තිය හෝ ‘සමාජවාදය‘ හෝ ගැන කතා කළ නොහැකි ය.

පරිවර්තනය – අජිත් පැරකුම්

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s