යටත්විජිතකරණය හා ගෘහනීකරණය ( 02 )

Posted: January 14, 2011 in ඉතිහාස

ජර්මනියේ ව්‍යවහාරික විද්‍යාවන් පිළිබඳ කලෝන් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක වන මාරියා මීස් 1960 ගණන් වල අගභාගයේ සිට ස්ත‍්‍රි ව්‍යාපාර ක‍්‍රියාකාරීනියක් ලෙසිනුත්, ස්ත‍්‍රි අධ්‍යනයන්හීත් කටයුතු කර ඇත. 1979 දී ඇය නෙදර්ලන්තයේ හේග් නුවර සමාජ විද්‍යාඥයින්ගේ ආයතනයේ කාන්තා සහා සංවර්ධන වැඩපිළිවල පිහිටෙව්වාය. ස්ත‍්‍රිවා දී පාරිසරික විද්‍යාත්මක සහ තුන් වන ලෝකය සම්බන්ධ ගැටඵ පිළිබඳ ලේඛණ සහ පොත් ගණනාවක් ඇය විසින් ප‍්‍රකාශයට පත් කර ඇත. 1993 දී ඉගැන්විමෙන් විශ‍්‍රාම ගිය ඇය කාන්තා හා වෙනත් සමාජ ක‍්‍රියාකාරීත්වයන් තුළ දිගටම කටයුතු කරගෙන යයි. ඇය විසින් රචිත කෘති අතර, Indian Women and Patriarchy, Patriarchy and Accumulation On a World Scale In Women : The Last Colony ප‍්‍රධාන වේ. ‘‘යටත්විජිතකරණය හා ගෘහනීකරණය’’ ලෙසින් පරිවර්තිත මේ ලිපිය ඇයගේ Patriarchy and Accumulation on a World Scale කෘතියෙන් උපුටා ගන්නා ලද්දකි.

  • මෙම ලිපිය අප විසින් ප‍්‍රකාශයට පත් කෙරුනු ඉතිහාස සඟරාවේහි ඵල කරන ලද්දකි. මේ හරහා යටත් විජිතකරණය සම්බන්ධයෙන් මාරියා මීස් හෙලන තියුනු ස්ත‍්‍රීවාදී බැල්ම පුලූල් අවකාශයක් තුළ සාකච්ඡා වීම වැදගත් යැයි අප සිතමු. මේ නිසා මෙම ලිපිය අපගේ බ්ලොග් අඩවියෙහි කොටස් වශයෙන් නැවත පලකරමු.

යටත්විජිතකරණය හා ගෘහනීකරණය (II – කොටස)

කාන්තාව, සොබාදහම සහ යටත්විජිත යටපත් කරගැනීම: ධනවාදි පීතෘමූලිකත්වයේ හෙවත් ශිෂ්ට සමාජයේ යටිබිම


මෙතැන් සිට මා උත්සහ කරනුයේ ඉහත කෙටියෙන් දක්වන ලද ප‍්‍රතිවිරෝධී ක‍්‍රියාවලිය හඳුනාගැනීමටයි.  එමගින්, පසුගිය සියවස් හතර-පහ තුළ, ස්ත‍්‍රිය, සොබාදහම සහ යටත්විජිත බැහැර කර, ශිෂ්ට සමාජයෙන් පිටස්තර බව ප‍්‍රකාශයට පත් කර, පහතට ඔබා, මුහුදේ පාවෙන අයිස් කන්දක දිය යට කොටස සේ, නොපෙනී සිටිමින් සමස්තයේ පදනම වන්නක් බවට පත් කරන ලදී.
ක‍්‍රමවේදාත්මකව මා හැකි තරම් දුරට උත්සහ කරන්නේ සාමාන්‍යයෙන් වෙන වෙනම කොටස් ලෙස විශ්ලේෂණය කරනු ලබන සූරාකෑමේ සබඳතාවන්ගේ ධ‍්‍රැවයන්ගේ බෙදීම ගලවා බැලීමටයි. විද්‍යාර්ථිමය කටයුතු හා පර්යේෂණ පිළිබඳව අපගේ අවබෝධය යටත්විජිතකරුවන්ගේ හා විද්‍යාඥයන්ගේ කර්කනය ම අනුගමනය කරයි.  ඔවුහු සමස්තයක් නියෝජනය කරන කොටස් කැබලිවලට කපා වෙන් කරති. අනතුරුව විද්‍යාගාර තත්වයන් තුළ එ්වා විශ්ලේෂණය කර, මිනිසා විසින් සාදන ලද කෘත‍්‍රිම ආදර්ශන තුළ එ්වා යළි එකතු කරති.

මම මෙම තර්කනය අනුගමනය නොකරමි. එ වෙනුවට මා උත්සාහ කරනුයේ සොබාදහම සූරාකෑමට ලක් කර මිනිසාගේ ආධිපත්‍යයට නතු කිරීමේ ක‍්‍රියාවලියේ සිට යුරෝපයේ ස්තී‍්‍රන් යටත් කිරීමේ ක‍්‍රියාවලිය දක්වා යා කරන යටිබිම් සබඳතා හඳුනා ගැනීමට හා වෙනත් භූමි හා ජනතාවන් ආක‍්‍රමණය කර, යටත් කර ගැනීම කෙරෙහි මේ දෙක සම්බන්ධ වීම පරික්‍ෂා කිරිමටත් ය.  අනුව, යුරෝපීය විද්‍යාවේ හා තාක්‍ෂණයේ ඓතිහාසික නැගීම සහ එය විසින් සොබාදහම අයිති කර ගැනීම යුරෝපීය මායාකාරියන් සංහාරය සමග සම්බන්ධ විය යුතු ය.  එමෙන්ම මායාකාරියන් සංහාරය හා නවීන විද්‍යාවේ නැගීම වහල් වෙළදාම හා යටත්විජිතවල යැපුම් ආර්ථිකයන් විනාශ කිරීම හා සම්බන්ධ විය යුතු ය.

මෙය එසේ වේවායි අප සිතුවත්, මෙම සමස්ත කාලපරිච්ජේදය පිළිබඳ සංක්‍ෂිප්ත ඉතිහාසයක් විය නොහැක. මම ප‍්‍රධාන වශයෙන් ධනවාදී පීතෘමූලික නිෂ්පාදන සම්බන්ධතාවන්ගේ ගොඩනැගීමෙහි ලා අතිශය වැදගත් වූ සමහර වැදගත් සබඳතා හුවා දක්වමි. එකක් නම්, යුරෝපයේ මායාකාරියන් සංහාරය හා නව ධනපති පංතියක් හා නවීන විද්‍යාව නැගී එ්මත්, සොබාදහම යටපත් කර ගැනීමත්, අතර සම්බන්ධයයි.  මෙය දැනටමත් පර්යේෂණ කිහිපයකට විෂය වී ඇත. (Merchant, 1983: Heinsohn, Knieper, Steiger, 1979: Ehrenreich, English, 1979: Becker සහ තවත් අය 1977) පහත විෂ්ලේෂණය පදනම් වන්නේ ඔවුන්ගේ කෘති මත ය.

මෙම ක‍්‍රියාවලීන් හා යටත්විජිත ජනයා පොදුවේත්, යටත්විජිත ස්තී‍්‍රන් සුවිශේෂීයවත්, යටත් කිරීම හා සූරාකෑම අතර ඓතිහාසික සම්බන්ධය තවමත් ප‍්‍රමාණවත් ලෙස අධ්‍යයනය කර නැත.  එබැවින් මම  මෙම ඉතිහාසය වැඩිදුර අධ්‍යයනය කරමි.

මායාකාරියන් සංහාරය සහ නවීන සමාජයේ නැගීම: මධ්‍යතන යුගය අවසානයේ ස්තී‍්‍රන්ගේ ඵලදායිතා වාර්තාව


යුරෝපය අත්පත් කර ගත් ජ්ර්මනික් ගෝත‍්‍රවල ගෘහස්ථ පියා (pater familias) හට ගෘහයේ සෑම දෙයක් ම හා සෑම කෙනෙකු ම මත ආධිපත්‍යය තිබිණි. පැරණි ඉහළ ජර්මානු බසින් munt (mundium= manus= hand) යන්නෙන් අදහස් කෙරුණේ ඔහුට බිරිඳ, ළමයින්, වහලූන්, ආදීන් මිල කිරීම, විකිණීම ආදිය කිරිමට පුළුවන් බවයි.  විවාහය මගින් පිරිමියාගේ munt ගැහැනිය මත පිහිටුවන ලදී.  එම සම්බන්ධය ද්‍රව්‍ය මත දේපල හිමිකමකි. එය පදනම් වූයේ අත්පත් කර ගැනීම (ගැහැනුන් පැහැරගෙන යාම) මත හෝ මිළ දී ගැනීම (ගැහැණුන් වෙළදාම) හෝ මත ය.  ජර්මනික් නීතිය අනුව, විවාහය යනු පවුල් දෙකක් අතර වෙළඳ ගිවිසුමකි. ගැහැනිය හුදෙක් ම මෙම ගනුදෙනුවට පාත‍්‍ර වන භාණ්ඩයකි. munt බලය අත්පත් කර ගැනීමෙන් ස්වාමිපුරුෂයාට බිරිඳ දේපලක් මෙන් සලකමින් ඇයට හිමි දේ ද අයිති කර ගත හැකි ය.  ගැහැනු මුළු ජීවිත කාලය පුරාම ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් පියවරු හා පුතුන්ගේ munt යටතට පත් වූහ. මෙම munt පැන නැගුණේ ගැහැනුන් අවි භාවිතයෙන් බැහැර කිරීම සඳහා ය. 13වන සියවසේ සිට, නගර බිහිවීමේ හා නාගරික ධනපති පංතියක් බිහි වීමේ සිට, විස්තෘත පවුලේ සහ ඥතිත්වයේ මුල් ජර්මනික් ස්වරූපය වූ ‘සමස්ත ගෘහය‘ (whole house) බොඳ වී යාමට පටන් ගැනිණි. පුතුන් හා දියණියන් මත පියාගේ පැරණි බලය (potestas patriae) ඔවුන් ගෙදරින් පිට වී ගිය පසු අවසන් විය.  බිරින්දෑවරු ස්වාමීන්ගේ munt හෝ භාරකාරිත්වය යටතට පත් කෙරිණි. කෙසේ වෙතත්, අවිවාහක කාන්තාවන්ට තමන්ගේ ම වූ දේපල තිබීණි නම්, එ්වා ඇතැම් විට නීතිය ඉදිරියේ ප‍්‍රධාන විෂය (mǘndig) ලෙස සැලකිණි. කොලෝංහි ඇතැම් ශිල්ප භාවිතා කළ කාන්තාවන්, 1291දී, Slbstmuindig ලෙස සැලකිණි. නගරවල පැවති නීතිවලින් මෙන් ම ගම්බද නීතිවලින් ද ශිල්පයන්හි නියුතු ගැහැනුන් පියාගේ හෝ ස්වාමියාගේ හෝ munt රඳා පැවතීමෙන් මුදා හැරිණි.

මෙසේ ලිංගික බැඳීමෙන් නිදහස් කිරීම පිටුපස පැවති හේතුව වන්නේ නගරවල ගැහැනුන්ට තම ශිල්ප හා ව්‍යාපාර ස්වාධීනව කරගෙන යාමට ඉඩ ලබා දීමයි.  එයට හේතු කිහිපයක් කිබිණි.

1.වෙළඳ හා වානිජ කටයුතුවල ව්‍යාප්තියත් සමග, විශේෂයෙන්ම රෙදිපිලි ඇතුළු වෙනත් නිෂ්පාදිත පාරිභෝගික භාණ්ඩවලට ඉල්ලූම වැඩි විය.  මෙම භාණ්ඩ සහමුලින් ම වාගේ නිෂ්පාදය කෙරුණේ ශිල්පීන්ගේ හා ගැහැනුන්ගේ ගෘහවල ය.  වංශාධිපතීන් අත යහමින් මුදල් ගැවසීමත් සමග ඔවුන්ගේ සුඛෝපභෝගි භාණ්ඩ පරිභෝජනය ද වැඩි විය. මිළ අධික විල්ලූද හා සේද ඇඳුම්, බීරළු සළු, සාටක ආදිය විලාසිතා බවට පත් විය. මේ බොහෝ ශිල්පයන්හි කාන්තාවෝ ප‍්‍රමුඛ වුහ.

එහෙත් ජර්මනියේ විවාහක කාන්තාවන්ට තම ස්වාමිපුරුෂයාගේ කැමැත්තෙන් තොරව, ව්‍යාපාර හා දේපල ගනුදනු කිරීමට ඉඩ නොලැබිණි. ස්වාමිපුරුෂයෝ දිගටම ඔවුන්ගේ භාරකරුවෝ හා ස්වාමීහු වූහ. කෙසේ වෙතත්, ශිල්පවල නියුතු ගැහැනුන්ට හා ව්‍යාපාරික කාන්තාවන්ට පැමිණිලිකරුවන්ගේ සාක්‍ෂිකාරියන් ලෙස භාරකරුවකු නොමැතිව පෙනී සිටිය හැකි විය. ඇතැම් නගරවල ව්‍යාපාරික හෝ වෙළඳපොල ගැහැනුන්ට පිරිමින් හා සම අයිතිවාසිකම් ලැබිණි. මියුනිච්හි එය ප‍්‍රකාශ වුණේ මෙසේය:
‘වෙළඳපොලෙහි සිටිමින් මිල දී ගැනීම හෝ විකිණීම හෝ කරන ගැහැනියකට ඇගේ සැමියා, සතු සියලූ හිමිකම් තිබේ.‘ එහෙත් ඇයට ඔහුගේ දේපල විකිණිය නොහැක.

මධ්‍යතන යුගයේ ශිල්පවල නියුතු හා වෙළඳපොල ගැහැනුන්ගේ ස්වාධීනත්වය සීමා රහිත වුවක් නොවී ය. නැගී එන ධනපති පංතියට ඔවුන් අවශ්‍ය වූ හෙයින් ඔවුනට එම සහනය ලැබිණි. එහෙත් පවුල තුළ ස්වාමි පුරුෂයා ස්වාමි භූමිකාව පවත්වාගෙන ගියේය.

2. වානිජ කටයුතු හා ශිල්පයන්හි නියැලි කාන්තාවන්ට මෙම සාපේක්‍ෂ නිදහස හිමි වීමට පසුබිම් වූ දෙවන හේතුව මධයතන යුගයේ අවසානයේ පිරිමි හිඟ වීමයි.  13වන සියවසේ සංඛ්‍යා දත්ත අනුව ෆ‍්‍රැන්ක්ෆර්ට්හි ස්තී‍්‍ර පුරුෂ අනුපාතය පිරිමි 1000 ට ගැහැණු 1100 ක් විය. 15වන සියවසේ දී නියුරම්බර්ග්හි එය පිරිමි 1000ට ගැහැණු 1207ක් විය. වැඩවසම් රාජ්‍ය අතර දීර්ඝකාලීන යුද්ධ හා ආගමික යුද්ධ හේතුවෙන් පිරිමි සංඛ්‍යාව අඩු වී තිබිණි. පිරිමින්ගේ මරණ අනුපාතිකය ගැහැණුන්ගේ මරණ අනුපාතිකයට වඩා ඉහළ මට්ටමක තිබු බව ද පෙනේ.  එයට හේතුව පිරිමින් සෑම ආකාරයක ම වින්දනාත්මක ක‍්‍රියාවලදී පමණ ඉක්මවා යාම බව ද කියවිණි.

දකුණුදිග ජර්මනියේ ගැමි ගොවීන් අතර විවාහයට අවසර ලැබුනේ වැඩිමල් ම පුතාට පමණි. මක් නිසාද යත් ඉඩම වැඩකට නැති කුඩා කොටස්වලට බිඳී යන හෙයිනි.  ආධුනිකයන්ට ප‍්‍රවීණ ශිල්පීන් බවට පත්වනතුරු විවාහයට අවසර නොලැබිණි. වැඩවසම් ඉඩම්හිමියන්ගේ ප‍්‍රවේණි දාසයන්ට ස්වාමීන්ගේ කැමැත්තෙන් තොරව විවාහ විය නොහැකි විය.  නගරවල ෙදාරටු විවර වූ වහාම ගැහැණු පිරිමි බොහෝ ප‍්‍රෙවිණි දාසයෝ එ් වෙත පළා ආහ. ‘නගරවල වාතය මිනිසුන් නිදහස් කරයි‘ යන්න සටන් පාඨය විය.  පිටිසර ප‍්‍රදේශවල දුප්පතුන්ට තම දියණියන් ගෘහ සේවිකාවන් ලෙස ජීවනෝපාය සපයා ගැනීම පිණිස යවන්නට සිදු වූයේ ඔවුන් විවාපත් වන තෙක් යැපීම සැලසීම දුෂ්කර වූ හෙයිනි.
මෙම සියල්ලෙන්ම සිදු වූයේ ආර්ථික වශයෙන් කි‍්‍රයාශීලි, බැඳීම් රහිත, අවිවාහක හෝ වැන්දඹු හෝ ගැහැනුන් සංඛ්‍යාව වැඩි වීමයි. 12 හා 13 සියවස්වල නගර, ගැහැනුන්ට උවමනා පරිදි ශිල්ප හා ව්‍යාපාර තෝරා ගැනීමට ඉඩ සැලසී ය. ඔවුන්ගේ දායකත්වයෙන් තොරව වෙළදාමට හා වානිජ්‍යයට ව්‍යාප්ත වීමට බැරි වූ හෙයින් මෙය අවශ්‍ය විය. එහෙත්, ආර්ථික වශයෙන් ස්වාධීන කාන්තාව පිළිබඳ ආකල්ප හැමදාමත් ප‍්‍රතිවිරෝධාත්මක විය.  මුලදී ශිල්ප ශ්‍රේණි තනිකරම පිරිමින්ගේ සංගම් විය. පසුව ඇතැම් ශිල්පී කාන්තාවන් ඇතුළත් කර ගැනීමට සිදු වූ බව පෙනේ.  ජර්මනියේ මෙය 14වන සියවසට පෙර සිදු වූයේ නැත.  ප‍්‍රධාන වශයෙන් සන්නාලි ගැහැනුන්ට, අවිවාහක ගැහැනුන්ට හා රෙදි පිළි නිෂ්පාදනයේ වෙනත් අංශවල නියුතු ගැහැනුන්ට ශිල්ප ශ්‍රේණිවලට බැඳීමට ඉඩ දෙන ලදී.  12වන සියවසේ පටන් ම විවීම පිරිමින් අත තිබු ශිල්පයක් වූ මුත්, ගැහැනු උපකාරක රැකියා රැසක් කළහ.  පසුකාලීනව, වේල්, හණ, සේද හා රන් වියමන් ආදී ඇතැම් ශාඛාවල ප‍්‍රවීණ ස්තී‍්‍ර වියුම්කරුවන් පිළිබඳව සඳහන් වේ.  එම ශිල්පවල නියලූණේ ගැහැනු ය.  කොලෝංහි 14 වන සියවසේ පටන් ස්තී‍්‍ර ශිල්ප ශ්‍රේණි පවා තිබිණ.
ශිල්ප හැරුණු කල ගැහැනුන් නියැලී සිටියේ පලතුරු, කුකුළන්, බිත්තර, හුරුල්ලන්, මල්, කේජු, කිරි, ලූණු, තෙල්, පිහාටු, ජෑම්, ආදී සුළු භාණ්ඩ වෙළදාමේ ය.  ගෙන් ගෙට ගොස් බඩු විකුණන්නන් හා සංචාරක වෙළඳුන් ලෙස ගැහැනු ඉතා සාර්ථක වූ අතර, පිරිමි වෙළඳුන්ට අභියෝගයක් ද වූහ.  එහෙත් ඔවුහු විදේශ වෙළදාමේ නොයෙදුණ හ.  එනමුදු පිටත වෙළඳපොල සමග වෙළදාමේ යෙදුණ වෙළඳුන්ට අත්තිකාරම් දුන්හ.

කොලෝංහි සේද වියන්නියන් බොහොමයක්, දුර බැහැර ෆ්ලාන්ඩර්ස්, එංගලන්තය, උතුරු මුහුද, බෝල්ටික් මුහුද, ලිප්සිග්, ෆ‍්‍රැන්ක්ෆර්ට් වැනි විශාල පොළවල් ආශි‍්‍රතව තම බිරියන්ගේ වටිනා නිපැයුම් අළෙවි කළ ධනවත් වෙළෙන්දන් සමග විවාපත් ව සිටිය හ.  (Baker හා වෙනත් අය 1977, 66-67)

15 වන සියවසේදී තනිවම එංගලන්තයට ගමන් කළ එකම එක ගැහැනියක ගැන පමණක් කියෙවි.  ඇය Danzig හි Katherire Ysnmengerde ය. (Baker හා වෙනත් අය 1977, 66-67)
15 වන 16 වන සියවස්වලදී පැරණි යුරෝපා පිලිවෙල බිඳ වැටී, ධනවාදී නිෂ්පාදන මාදිලිය මත පදනම් වූ යුරෝපා ලෝක ආර්ථිකය මතු විය. (Wallerstein, 1974: 67) මෙම යුගයේ ලක්‍ෂණ වන්නේ, නැගී එන ධනපති පංතිය අධික ලෙස ‘නව ලෝකය‘ දෙසට ව්‍යාප්ත වීම හා විනිවිද යාමත්, දුගීකරණය, යුද්ධ, වසංගත හා පැරණි ප‍්‍රධාන රාජ්‍යවල කැළඹිලිත් වේ.

Wallersteinට අනුව, 16 වන සියවස අග වන විට, මෙම ලෝක ආර්ථිකයට වයඹදිග යුරෝපය, කි‍්‍රස්තියානි මධ්‍යධරණී ප‍්‍රදේශ, මධ්‍යම යුරෝපය, බෝල්ටික් කලාපය, ඇමරිකාෙවි ඇතැම් ප‍්‍රදේශ, වන ස්පාඤ්ඤය, ඇන්ටිල්ස්, පේරු, චිලිය හා බ‍්‍රසීලය අයත් විය.  එ් යුගයේ එයට අයත් නොවුණේ, ඉන්දියාව, ඈත පෙරදිග, ඔටෝමාන් අධිරාජ්‍යය, රුසියාව හා චීනයයි.

1535 හා 1540 අතර, බටහිර අර්ධ ගෝලයේ ජනගහණයෙන් අඩකට වඩා පාලනය කළේ ස්පාඤ්ඤයයි.  1670-1680 අතර, යුරෝපීය පාලනයට අයත් ප‍්‍රදේශ වර්ග කිලෝමීටර් 3,000,000 සිට 7,000,000 දක්වා ඉහළ ගියේය. (Wallerstein, 1974: 68) මෙම ව්‍යාප්තිය විසින් මහා පරිමාණ පෞද්ගලික ප‍්‍රාග්ධන සමුච්චකරණයකට ඉඩ සැලසීය. එය කෘෂිකාර්මික නිෂ්පාදනය සහේතුක කිරීම පිණිස මුල්‍ය සම්පාදනයට යොදා ගැනිණි. (Wallerstein, 1974: 69) 16 වන සියවසේ මෙම යුරෝපීය ලෝක ආර්ථිකයේ වඩාත් කැපී පෙනෙන ලක්‍ෂණයක් වන්නේ අනාගමික උද්ධමනයයි.  එනම් ඊනියා මිළ විප්ලවයයි. (Wallerstein, 1974: 69)  මෙම උද්ධමනය එක් ආකාරයකට ඇමෙරිකාවෙන් වටිනා ලෝහ එනම්, රන් ගලා එ්මට ඉවහල් විය.  එහි ප‍්‍රතිඵලය වඩාත්ම දැනුණේ ඉතා ලාබෙට සැපයුණු ධාන්‍යවලිනි.  ‘කර්මාන්ත පුළුල් වූ එම රටවල කර්මාන්ත වල අශ්වයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශාල භූමි භාග වෙන් කිරිමට සිදු විය.‘  එවිට ධාන්‍ය බොල්ටික් ප‍්‍රදේශවලින් ඉහළ මිලට ගැනීමට සිදු විය.  ෙමි අතර බි‍්‍රතාන්‍යයේ හා ප‍්‍රංශයේ වැටුප් එක තැන පල් විය.  ආයතනික දෘඪ බව එයට හේතු වූ අතර ඇත්තෙන්ම මූර්ත වැටුප්වල පහත වැටීමක් ද සිදු විය.  එහි ප‍්‍රතිඵලය වූයේ පොදු ජනයා මහත් දුගීභාවයකට පත් වීමයි.
Wallersteinට අනුව, 16 වන සියවසේ යුරෝපයේ නෙදර්ලන්තය, එංගලන්තය, ප‍්‍රංශය වැනි වෙළදාම සාර්ථක වූ උතුරුදිග ප‍්‍රදේශවල භූමිය ප‍්‍රධාන වශයෙන්ම ධාන්‍යවලට නොව එෙඬ්ර අවශ්‍යතා වෙනුවෙන් යෙදවිණි. ග‍්‍රාමීය වැටුප් ශ‍්‍රමය ශ‍්‍රම පාලනයේ ප‍්‍රධාන ස්වරූපය බවට පත් විය.  ධාන්‍ය නැගෙනහිර යුරෝපයෙන් හෝ බොල්ටික් කලාපයෙන් ආනයනය කෙරිණි.  පරිවාරයේ එම රටවල ‘ද්වීතීයක ප‍්‍රෙවිණිදාසභාවය‘ හෝ ‘වැඩවසම්වාදය‘ ප‍්‍රධාන ශ‍්‍රම පාලන විධිය ලෙස මතු විණි.  උතුරුදිග හා මධ්‍යම යුරෝපයේ මෙම ක‍්‍රමය ගැමි ගොවි ජනයා මහත් දුගීභාවයට පත් කිරිමට හේතු විය.  16 වන සියවසේදී ජනගහණ වර්ධනයක් සිදු වූ අතර නගර මත පීඩනය වැඩි විය. Wallerstein මෙම ජනගහණ පීඩනය ජනයා පිටතට සංක‍්‍රමණය වීමට හේතුව ලෙස දකියි. ‘ජනයා බටහිර යුරෝපයේ නගරවලට සංක‍්‍රමණය වු අතර වැඩි වන පාදඩකරණය ‘‘ආෙවිණික’’ විය. (Wallerstein, 1974: 117) ආවෘත ක‍්‍රම හා ගම්බිම්වලින් ජනයා පිටමංවීම හේතුවෙන් වැඩි වශයෙන් එංගලන්තයේ මහා සංක‍්‍රමණයක් පමණක් නොව පාදඩකරණයක් ද සිදු විය. ‘එයට හේතුව වැඩවසම් ක‍්‍රම බිඳ වැටීම හා රජුන් තම දාසයන්ට එදිරිව රාජකාරියේ යෙදීමට එකරැුස් කරන ලද විසල් හමුදා විසුරුවා හැරිමයි.‘ (Wallerstein විසින් උපුටා දක්වනු ලැබු මාක්ස්, 1974: 117)

මෙම ඉබාගාතේ යන්නන්, ඔවුන්ව නව කර්මාන්තවල ශ‍්‍රමිකයන් ලෙස බඳවා ගනු ලැබීමට පෙරාතුව ජීවත් වුණේ අතට ලැබෙන යමක් කටේ ලා ගනිමිනි.  විවිධ අනාගත වක්තෘන් හා ආගමික නිකාය වටා රාශිභූත වු දුගී ජනයා මොවුහු ය.  මෙම යුගයේ රැඩිකල් හා මනෝරාජික අදහස් විසින් ආමන්ත‍්‍රණය කරනු ලැබුවේ මෙම ජනතාවන් ය.  මෙම පාදඩයන් අතර බොහෝ දුප්පත් ගැහැනු ද වූහ. ඔවුන් ජීවනෝපාය සලසා ගත්තේ නාටිකාංගනාවන්, සූත්තරකාරියන්, ගායිකාවන්, හා ගනිකාවන් ලෙසයි. වාර්ෂික පොළවල්, දේවස්ථාන සභා ආදියෙහි ඔවුහු රැස් වූහ. කොන්ස්ටන්ස් හා බැස්ල් සභාවලට 1500 ක් රැුස් වූහ.  (Baker හා තවත් අය, 1977: 76) මෙම ගැහැනු හමුදා පසුපස ද ගියහ. ඔවුන් සොල්දාදුවන්ට ගනිකාවන් වූවා පමණක් නොව, අගල් හෑරීම, අසනීප හා තුවාල වුවන්ට සාත්තු කිරීම සහ භාණ්ඩ විකිණීම ද කළහ.

මුලදී මෙම ගැහැනුන් පිළිකුලට පාත‍්‍ර නොවු අතර, ඔවුහු මධ්‍යතන යුගයේ සමාජයේ කොටසක් වූහ.  විශාල නගරවල ඔවුන්ව විශේෂ ‘කාන්තා නිවාසවලට‘ දමන ලදී. පල්ලිය ගනිකා වෘත්තිය පැතිරීම වැළැක්වීමට උත්සාහ කළ නමුදු, දරිද්‍රතාව තව තවත් ගැහැනුන් ‘කාන්තා නිවාස‘ වෙත තල්ලූ කළේය.  බොහෝ නගරවල ගනිකාවන්ට තමන්ගේම සංවිධාන තිබිණි.  පල්ලි පෙරහර හා පොදු උත්සවවලදී ඔවුනට තැනක් හා ඔවුන්ගේම බැනරයක් ද හිමි විය.  ඔවුනට ශාන්ත මැග්දලේනා නම් වු ඔවුන්ගේම අනුග‍්‍රාහක ශාන්තුවරියක් ද සිටියා ය. මෙයින් පෙන්නුම් කරනුයේ 14 වන සියවස අවසානයේ දී Statues of Meran විසින් පුරවැසි කාන්තාවන් හා වෙනත් ගරුසර කාන්තාවන් සිටින පොදු උත්සව හා නැටුම් වලින් ගනිකාවන් ඈත් විය යුතු බවට නීතියක් පණවයි. ‘විනීත කාන්තාවන්ගෙන්‘ වෙන් කර හඳුනා ගතහැකි වන පරිදි ඔවුහු තම පාවහන්වල කහපාට පීත්ත පටියක් බැඳිය යුතුය. (Baker සහ තවත් අය 1977: 79)

12වන සියවසේ සිට 17වන සියවස දක්වා යුරෝපයේ මුළු දුන් මායාකාරියන් දඩයම වනාහි තම ආර්ථික හා ලිංගික ස්වාධීනත්වය හේතුවෙන් නැගී එන ධනපති ක‍්‍රමයට තර්ජනයක් වු ගැමි ගොවි හා ශිල්පී ගැහැනුන් යටපත් කිරීමේ හා පාලනය කිරීමේ යාන්ත‍්‍රණයකි.

මායාකාරියන් පිළිබඳ හා ඔවුන් ඝාතනය කිරීම පිළිබඳ මෑත කාලීන අධ්‍යයනයන් විසින් හෙලිදරව් කර ඇති පරිදි ගැහැනුන් නිහඬව ම තම ආර්ථික හා ලිංගික ස්වාධීනත්වය අත් නොහළ අතර, පල්ලියේ, රාජ්‍යයේ හා ප‍්‍රාග්ධනයේ ප‍්‍රහාරයට විවිධාකාරවලින් ප‍්‍රතිරෝධය දැක්වූහ.  එවන් එක් ආකාරයකි, මෙකල මතු වූ අසම්මත ආගමික ගුරුකුල. ගැහැනු එක්කෝ එවායේ ප‍්‍රධාන භූමිකාවක් රඟපෑහ. නැත්නම්, ඔවුන්ගේ මතවාද විසින් ගැහැනිය සඳහා සමානාත්වය හා නිදහස ප‍්‍රකාශ විය.  ලිංගික මර්දනය, දේපල හා එ්ක විවාහය හෙළා දකින ලදී.  අවුරුදු සිය ගණනක් පැවති ‘නිදහස් ආත්මයේ සහෝදරත්වය‘ (Brethren of the Free Spirit) එවන් එකකි.  එමගින් ප‍්‍රජා ජීවිතය පිහිටුවන ලදී. විවාහය අහෝසි කරන ලද අතර, පල්ලියේ ආධිපත්‍යය ප‍්‍රතික්ෂේප කරන ලදී. මෙයට බොහෝ ගැහැනුන් බැඳුන අතර ඔවුන්ගෙන් ඇතමෙක් අසාමාන්‍ය විද්‍යාර්ථීහු වූහ. ඔවුන්ගෙන් කිහිපදෙනෙක් ම දුර්ලබ්ධිකයන් ලෙස සලකා පුළුස්සා දමන ලදී. (Cohn, 1970)

මායාකාරියන් දඩයමේ වියරුව ජරපත් වෙමින් පැවති පැරණි ක‍්‍රමය නව ධනපති බලෙවිග සමග ගැටුමේ හා අකාලික පිරිමි පීඩා කාමුකත්වයේ හෝ ප‍්‍රතිඵලයක් පමණක් නොව, නව පුරුෂාධිපතිවාදී පංතිවල ස්තී‍්‍ර කැරැුල්ලට එරෙහි ප‍්‍රතිචාරය ද ලෙස සැලකීම වඩා සාධාරණ යයි හැෙ`ග් තම යැපුම් මාර්ග උදුරා ගැනීමට භාජනය වූ ගැහැනු, එසේ උදුරා ගත්වූවන්ට එරෙහිව සටන් කළහ.  ඇතැමුන් තර්ක කරන පරිදි මායාකාරියන් යනු ඔවුන්ගේ මායාකාරී සබාත් දිනවල නිශ්චිතවම රැස්වන සංවිධානාත්මක නිකායකි. එ්වායෙහිදි සියලූ දුගී මිනිස්සු රැස් ව ස්වාමීන් හා ප‍්‍රෙවිණි දාසයන් නොමැති නව නිදහස් සමාජයක හැසිරුණහ. ගැහැනියක මායාකාරියක වූ බව ප‍්‍රතික්ෂේප කිරීම හා චෝදනා සමග සම්බන්ධයක් නැති බව ප‍්‍රකාශ කිරීම හේතුවෙන් ඇයව වධ බන්ධනයට පාත‍්‍ර කරන ලද අතර, අවසානයේ දී පුළුස්සා දමන ලදී. කෙසේ වෙතත්, මායාකාරියන් දඩයම මැනවින් සංවිධානය කරන ලද නීතිමය කි‍්‍රයාවලියකි.  ප්‍රොතෙස්තන්ත රටවල විශේෂ මායාකාරී කොමිසම් සහ මායාකාරී කොමිසාර්වරු සිටියහ. පූජකවරු නිරන්තරයෙන් අධිකරණ සමග අදහස් හුවමාරුවක සිටි අතර, විනිසුරුවන්ට බලපෑම් කළහ.

Saxoniaහි නීතිඥයකුව සිට, පසුව Lipzigහි මහාචාර්යවරයකු වූ Benedikt Carpzov නම් එක් විනිසුරුවෙක් මායාකාරියන්ට එරෙහි මරණීය දණ්ඩන 20,000කට අත්සන් තැබීය.  ඔහු ප්‍රොතෙස්තන්ත පල්ලියේ කීකරු දරුවෙකි. (Dross, 1978: 204)

කිසිවෙකු ගැහැනියක මායාකාරියක ලෙස හෙළා දුටුවහොත්, සාක්ෂි එක් රැස් කර ගැනීම සඳහා කොමිසමක් එහි එවනු ලැෙබි. යහපත් කාලගුණය, අයහපත් කාලගුණය, ඇය මහන්සි වී වැඩ කරන්නී ද, කම්මැලි ද, රෝගී ද, සුවකිරිමේ බලයක් වී ද, වැනි හැම දෙයක්ම සාක්කි විය.  වධ බන්ධන පමුණුවද්දී ඇය තවත් අයෙකුගේ නමක් පැවසී නම්, එම පුද්ගලයා ද වහා අත්අඩංගුවට ගන්නා ලදී.

පරිවර්තනය

අජිත් පැරකුම් ජයසිංහ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s