‘අබා’ සංවාදය නැවත ගොඩගැනීම

Posted: February 8, 2011 in ඉතිහාස

‘අබා’ චිත‍්‍රපටය තිරගතවෙලා දැන් ටික කාලයක් වෙනවා. ඒ පිළිබදව වූ සංවාදයත් දැන් අතීතයට එකතු වූ දෙයක්. නමුත් අපි හිතුවා කල් පසුවී හෝ ඒ සංවාදය සදහා නව මානයක් එකතු කරන්න. අපි දකින විදියට ‘අබා’ චිත‍්‍රපටය තිරගත වෙලා වසර දෙකහමාරකට ආසන්න කාලයක් ගතවී තිබුනත් ‘අබා’ පිළිබදව නැවත කථා කිරීමට හැකි සමකාලීනත්වයක් ඒ තුළ පවතිනවා. ඒ අන් කිසිවක් නිසා නොව පවතින පාලක රෙජීමයේ ආධිපත්‍ය තහවුරු කරගැනීම වෙනුවෙන් ලංකාවේ අතීතය අර්ථකතනය කිරීම තවමත් එහි එක් ප‍්‍රධාන සංඝටකයක් වන නිසයි. ‘අබා’ නිර්මාණය කර තිරගත කිරීම මගින් ලංකාවේ වර්තමාන පාලකයන් බලාපොරොත්තු වූයේද ඒ මගින් තමන්ට රිසි ලෙස අතීතය අර්ථකතනය කිරීම හරහා ඔවුන්ගේ දේශපාලන පැවැත්ම සම්බන්දයෙන් යම් මතවාදීමය සුජාතභාවයක් සිංහල සමාජය තුළ ගොඩනගා ගැනීමයි.

 

‘අබා’ චිත‍්‍රපටය තිරගත වූ අවදියේදී චිත‍්‍රපටය සහ ඒ සමග ඇතිවූ සංවාදය පිළිබදව අප නිර්මාල් රංජිත් දේවසිරි, සුනිල් විජේසිරිවර්ධන සහ ධර්මසිරි බන්ඩාරනායක යන සහෘදයන් සමග කතාබහක යෙදුනා. මෙතැන් සිට එම කතා බහ අප මෙහි පලකරනවා. මෙවර අප පලකරන්නේ නිර්මාල් රංජිත් දේවසිරි සහෘදයා සමග කරන ලද කතාබහයි.

 

 

ප‍්‍රශ්නය: චිත‍්‍රපටියත් එක්ක මතුවුනු ජනප‍්‍රිය මාතෘකාවක් තමයි චිත්තරාජ ප‍්‍රශ්නය. අපි එතනින් සාකච්ජාව ආරම්භ කරමු.

නිර්මාල් : දැන් අපි හිතනව ජැක්සන් තමයි චිත‍්‍රපටිය හැදුවේ. එ් නිසා ජැක්සන් තමයි දන්නෙ චිත‍්‍රපටියෙ අරුත. එ් වගේ අපි හිතමු, අබාගේ පියා කවුද කියන ගැටළුව, මොකක් ද එ්කෙන් අදහස් වෙන්නෙ. දැන් ජැක්සන් අභියෝග කරනව පුළුවන්නම් කියන්න පියා චිත්තරාජ කියල සඳහන් වෙන්නෙ කොතනද කියල. ඔව් එහෙම නෑ. එහෙම කොහේවත් කියන්නේ නැහැ. එහෙම නොකියන නිසා එතන තියෙනව හිස්තැනක්. නමුත් චිත‍්‍රපටිය බලපු  ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් අබාගෙ පියා චිත්තරාජ කියන එක තමයි අරගෙන යන්නෙ. චිත‍්‍රපටියේ කියන්නෙ නෑ තමයි. නමුත් හැමෝම ගිහින් කොටු කරන්නෙ එතන. දැන් මේ සාකච්ඡුාව ගොඩක් දුර ගියාම ජැක්සන් මේකට දෙනව කවුරුත් නොසිතූ උත්තරයක්. ‘‘දීඝ ගාමිණිගේ මව යක්ෂ ගෝත‍්‍රිකයෙක්.’’

ප‍්‍රශ්නය:  එ්ත් ජැක්සන් කියන්නේ වංශ කතාවල කොහෙවත් එහෙම කියල නැහැ. නමුත් කලාකරුවෙක් විදියට උපකල්පනය කිරීමක් කියල. එ් වගේම කියනවා, තිබුණේ මාතෘ මූලික සමාජයක් නිසා එතනිනුයි මේ ප‍්‍රවේශය ගත්තේ කියලා.

නිර්මාල්: ඔව්. දැන් මම අහන ප‍්‍රශ්නය මේකයි. දැන් අපි පිළිගත යුතුද ජැක්සන් චිත‍්‍රපටිය හදන කොට අබාගේ පීතෘත්වය ගැන එ් මතය උඩ ඉඳන් තමයි චිත‍්‍රපටිය හැදුවෙ කියල. එ්ක අපි කොහොමද තේරුම් ගන්නෙ? මම නම් යෝජනා කරන්නෙ අපි ජැක්සන්ගෙ මේ ප‍්‍රකාශය අබා චිත‍්‍රපටිය ගැන තියෙන තව කියවීමක් විදියට ගනිමු කියල. චිත‍්‍රපටියේ අරුත තියෙන්නෙ ජැක්සන් ලඟද? ජැක්සනුත් කියනව මේක තමයි මම අදහස් කළේ; ‘මම අදහස් කළ දේ තමයි චිත‍්‍රපටියෙ තියෙන්නෙ’. එ් උනාට පේන විදියට දැන් එ්ක එ් විදියට වැඩ කරන්නෙ නෑ. මේක දැන් ජැක්සන්ගෙ ආධිපත්‍යයෙන් නිදහස් වෙලා තියෙන්නෙ. මේක තහනම් කිරීම සඳහාත් යෝජනා තියෙනවනෙ. විමල් වීරවංශ වගේ අය මේක අගයකරනව. ජාතිකවාදී පැත්තෙම ඉන්න, සිංහල අක්තපත‍්‍රය ගැන කිසිම සැකයක් නැති නලින් ද සිල්වා, සුසන්ත ගුණතිලක වගේ අය මේකට විරුද්ධ වෙනව. දැන් ප‍්‍රශ්නය තියෙන්නෙ මේ චිත‍්‍රපටිය දිහා අපි මොකක් විදියටද බලන්නෙ? කලා කෘතියක් විදියටද? ඊට අදාල ලිපි තුනක් ගැන මම අදහසක් පළකරන්න කැමතියි. එ්ව තමයි මනෝ ප‍්‍රනාන්දු (රාවය) ආරියතිලක පීරිස් සහ සුචරිත ගම්ලත් (ඉරුදින) විසින් ලියූ ලිපි. අනෙත් දෙන්නගෙ දේශපාලනික පක්ෂපාතිකම් මොනවද කියන්න මම දන්නව; නමුත් ආරියතිලක පීරිස්ව මම දන්නෙ නෑ. එ්ත් ආරියතිලකත්, ගම්ලත් සහ මනෝ ප‍්‍රනාන්දු යන දෙන්නගේ අදහස් වලට සමාන දේවල් තමයි කියන්නෙ. යම් යම් වෙනස්කමුත් තියෙනව. එ් ගොල්ලො මූලික වශයෙන් කියන්නෙ කලා කෘතියක් විදියට ගත්තාම මෙය පසුගාමීයි, ජාතිවාදයට ආවඩන දෙයක්  කියායි. එතකොට නැවත ප‍්‍රශ්නයක් එනව මොකක්ද කලා කෘතියක් කියන්නෙ කියල. අපි කලා කෘතියක් දිහා බලන්නෙ කොහොමද වගේ ප‍්‍රශ්න.

ප‍්‍රශ්නය: ජැක්සන් චිත‍්‍රපටයේ නිල අධ්‍යක්‍ෂකවරයා වගේම, මතුවෙලා තියෙන සාකච්ජාවේ සෘජු කොටස් කරුවෙක් බවටත් පත්වෙලා තියෙනවා. තීරණාත්මක කාරණය තියෙන්නෙ මෙම සමාජ සංවාදය ඇතුළෙයි. චිත‍්‍රපටයට, මහින්ද රාජපක්‍ෂගෙ ආශිර්වාදය සමග රජයේ රූපවාහිනි ඇතුළු මාධ්‍යවල පුළුල් ප‍්‍රචාරණයක් ලැබෙමින් තියෙනවා. එ් කියන්නෙ චිත‍්‍රපටය සමාජ ගතවෙන්නෙම සෘජු දේශපාලන දෘෂ්ඨියක් සහ උවමනාවක් සමගමයි. මතුවෙලා තියෙන විවිධ දේශපාලන ධාරාවන් අතර මෙම සාකච්ජාව සිතියම්ගත කරගන්නෙ කොහොමද?

නිර්මාල්: චිත‍්‍රපටය එනකොටම එ්ක ස්ථානගත වෙන්නෙ සිංහල ජාතිකවාදයේ පුනර්ජීවනය ඇතුලෙනෙ – ඉතිහාසය, මහා සිංහලේ වංස කතාව ආදිය හරහා. මහින්ද රාජපක්ෂගෙ ආණ්ඩුව තුළත් එ් සියල්ල කැටි වෙලා තියෙනවා. විමල් වීරවංශලා ගුණදාස අමරසේකරලා, එල්ලාවල මේධානන්දල, චම්පික රණවකල මේ සියල්ලොම එ් තුළ ඉන්නවා. එ්ක තමයි මෙතනට ගේන්නෙ. නමුත් ජැක්සන් බලාපොරොත්තු නොවුණු විවරයක් මෙතන ඇවිත් තියෙනවා. එ්කෙදි දේශපාලන වශයෙන් තීරණාත්මක වුණේ නලින් ද සිල්වගෙ මැදිහත් වීම. එතනදී ජාතිකවාදී කඳවුර තුළ බෙදීමක් සලකුණු වෙනව. ජාතිකවාදී කඳවුර එකක් විධියට දැක්කට එ්කෙ තිබුණ ආතතීන් ප‍්‍රධාන වශයෙන් සිංහල ජාතිකවාදයේ හෙළ උරුමයේ, නැත්නම් චම්පික රණවකගේ එක සහ නලින් ද සිල්වගෙ version එක අතර  එහෙම ආතතියක් තිබුණ. මහින්ද රාජපක්ෂ මේ ඔක්කොම එකතු කෙරුව. මහින්ද චින්තනය ඇතුළෙ සියල්ල තිබුණා. නමුත් අබා නිසා මේ සිංහල ජාතිකවාදී කතිකාව තුළ විවර මතුවෙලා තියෙනවා. එ්ක වුණේ චිත‍්‍රපටයෙ තියෙන ඇතැම් අංග නිසා. නලින් තමයි එ්ක දාර්ශනිකව ගේන්නෙ. එයා අබා කියන වචනය සම්බන්ධ කරනවා යුදෙව් ක‍්‍රිස්තියානි අර්ථයකට. එයා අහනවා ඇයි මේක පඬු අබා නොවී අබා උනේ කියල. මේකෙ චිත්තරාජව තමයි මතු කරන්නෙ. චිත්තරාජ කියන්නෙ පඬු අබාගේ පියා ඇරමයික් බසින් පියාට කියන්නේ අම්බාඅබා කියල – යුදෙව් බසින් කියන්නෙ ආබ් කියලා – නලින් එ්ක එහෙම ගේනව. මේ විවරය නිසා මේ විවර වෙච්ච තැනින් අළුත් පෙරමුණු ගොඩක් පහල වෙනවා. ඔය රාජකීය ආසියාතික සංගමයේ සම්මන්ත‍්‍රණය වගේ එ්වා එ් පෙරමුණ තමයි. එයාල පැරණි වර්ගයේ, මුලාශ‍්‍ර ගැන ඉතාම සැලකිලිමත්වන ඉතිහාසඥයෝ. ආචාර්ය W.M.K විජේතුංග මතු කරන ප‍්‍රශ්නය තමයි ”ජැක්සන් කිව්වත් එයා අබමල් රේණුවකින්වත් ඉතිහාසය විකෘති කළේ නෑ කියල, ජැක්සන් මහාවංශයට වෙනස්ව ඉතිහාසය ගැන බැරැරුම් ප‍්‍රකාශන කරනවා. එ් ප‍්‍රකාශණ කරන්නෙ මොන පදනමක් උඩ ඉඳගෙනද?‘‘ කියන එක. නමුත් විජේතුංගගේ අදහස සහ නලින්ගෙ අදහස අතරත් වෙනසක් තියෙනවා. එ්ක හරි වැදගත්. විජේතුංග කියන්නෙ නෑ මහාවංසයේ තියෙන එ්වා ඇත්තද බොරුද කියල, එයා කියන්නෙ මහාවංශයෙ තියෙන සිද්ධීන්වලට ජැක්සන් වෙනත් අර්ථ කථන කරනවා කියන එකයි. එතනදි විජේතුංග, මැන්ඩිස් රෝහණධීර, සුරිය ගුණසේකර වගේ අයවත් විවේචනය කරනවා. මේ අයගේ ප‍්‍රකාශනවල පදනම කුමක්ද කියන එකයි ඔහු අහන්නෙ. නලින් ද සිල්වත්, ජැක්සන් වගේම කතාවක් තමයි හදල තියෙන්නෙ. නලින්ගෙ කතාවෙත් යක්ෂ ගෝත‍්‍රිකයො එහෙම ඉන්නවා. නලින් මතුකරන්නෙ චිත‍්‍රපටයෙ සංඥර්ථවේදීමය තලයක්. චිත්තරාජ කුරුසියේ ඇණ ගැසීම වගේ දර්ශන, ගැහැණු අයගේ ඇඳුම්, පණ්ඩුල බ‍්‍රාහ්මණයා, මරණයෙන් පසු නැගිටීම වගේ දේවල්. මේවා සංඥර්ථ (Semiotics). නලින් යෝජනා කරන්නේ මේ සංඥර්ථවල මූලාශ‍්‍රය වනාහි යුදෙව් ක‍්‍රිස්තියානි චින්තනය කියලයි. නලින් තමයි සිංහල ජාතිය එක්සත් කළේ පණ්ඩුකාභයයි කියන මතය දිගටම ගෙනාපු කෙනා. ‘80 ගණන්වල අග ඉඳලම එ් කතාව හදල සකස් කරල එයා එ්ක ගේනවා. නමුත් W.M.K විජේතුංග එහෙම කියන්නෙ නෑ. නලින් මහාවංශයෙ තියෙන දේවල් අරගෙන අළුත් කතාවක් හදනවා. විජේතුංග ජැක්සන්ගෙන්, රෝහණධීරගෙන්, ගුණසේකරගෙන් අහන්නේ කොහොමද ඔයගොල්ලො මේ වගේ ප‍්‍රකාශ කරන්නෙ කියන එකයි.

අපට කලා කෘතිය තුළ ‘‘ඉතිහාසය’’ නියෝජනය ගැන කථාකරන්න පුළුවන් වුණත් අපට වැදගත් වෙන්නෙ කලා කෘතිය නෙවි. දැන් සාකච්ජාව එතනින් එහාට ගිහින් තියෙන්නෙ. උදාහරණයකට ”මම අබමල් රේණුවකින්වත් ඉතිහාසය විකෘති කරල නෑ” කියන එක කලා කෘතියෙ තියෙන දෙයක් නොමෙයි ජැක්සන් කියන දෙයක්. එවත් එක්ක තමයි සාකච්ජාව යන්නෙ. කෘතිය කියන්නෙ පොඩි පෙළඹවීමක්, තල්ලූවක් විතරයි.

ප‍්‍රශ්නය:  චිත‍්‍රපටිය තුළ, අතීත කතන්දරවල සංඝටක, වර්තමාන දේශපාලන ව්‍යාපෘතිවල සංඝටක, විවිධ චිත‍්‍රපට ෂානරවල සංඝටක වගේ බොහෝ දේ, එකතු කරලා තියෙනවා. නමුත් මේවා අතර වෙනස්කම් තියෙනවා. මේ නිසා, මේ වෙනස්කම් තීව්ර කරමින්, මතුවෙලා තියෙන සාකච්ජාව පුපුරා යන මට්ටමකට ගේන්න පුළුවන්කමක් තියෙනවද? චිත‍්‍රපටයේ සාධනීය යමක් හඳුනාගත නොහැකිද?

නිර්මාල්: එහෙම එකක් තියෙනවා. එකක් මේ කෘතියේ තියෙන සමකාලීනත්වය. අපි මේකෙ ඉතිහාසයේ අඩංගුව ගැන බැලූවත් කලා කෘතියක් සමකාලීනයි නෙ. මේ චිත‍්‍රපටිය මිනිස්සු බලනව. සෝමරත්න දිසානායක, සුනිල් මිහිඳුකුල, නිහාල්සිංහ වගේ අය කියනවා චිත‍්‍රපටිය මිනිස්සු බලනවා කියල. විශාල මුදලකුත් වියදම් කරල තියෙනවා. ඔය චිත‍්‍රපටයෙ තියෙන ඓතිහාසික කතන්දරේ පැත්තකට දාල අපි බලමු මොනවද මේකෙ තියෙන්නෙ. මේක ගැන කථාකරන අය බෙන්හර් ගැන, Lord of the Ring සහ ක‍්‍රිස්තු චරිතය ගැන කතා කරනවා. යක්ෂ ගෝත‍්‍රිකයින්ගෙ ඇඳුම් පැලඳුම් ගැන කථා කරනව. Apocalypse චිත‍්‍රපටිය ගැන කියනවා. මේ කෘති සමකාලීනයි. මේ මොනවද කියන්නෙ?. ඇයි මේව කියන්නෙ. මේවා ජැක්සන් තමන්ගෙ නිෂ්පාදනය සඳහා එකතුකරගත්ත ආම්පන්න. දැන් ජනප‍්‍රිය හොලිවුඞ් සිනමාව ගත්තොත් එ් චිත‍්‍රපටිවල කතාව නෙමෙයි වැදගත්. වෙනත් දේවල්. ලොකු බිල්ඩින් උඩින් පනින එ්ව වගේ. ලංකාවේ 60-70 ගනන් වල වට්ටෝරු චිත‍්‍රපටිවල වැදගත් වෙන්නෙ එ් location සින්දු ටික, B.S පෙරේරා, ෆ්‍රෙඞී සිල්වාලගේ විහිළු ටික. ගාමිණීගේ, මාලිනිගේ නැටුම් ටික වගේ දේවල්. මේ චිත‍්‍රපටයෙත් එහෙමයි.  ඕක යුදෙව් ක‍්‍රිස්තියානි ප‍්‍රශ්නයක් නොවෙයි. එක පැත්තකික් මම එකගයි අර කතෝලික කතාවට. ජැක්සන්ගෙ කතෝලික පසුබිම නිසා ඒක එයාට එන්න පුළුවන් වෙනවා. ඒක වරදක් නෙමෙයි. නලින් කියල තිබුන එ් කාලෙ නොතිබුණු ලොකු බලකොටු හදල  කියල. තව කව්ද අහල තිබුන මොකද ගඩොල් නැත්තෙ, එ්කාලෙ ගඩොල් තිබුණනෙ කියල (සමහර විට  ඕක ගඩොල්වලින් හදන්න ගියානම් ලොකු වියදමක් යනවනෙ නේද?) මේ වගේ කතා ටිකක් ගේනවා. කෙසේ වෙතත් මේ ශානරීය සංඝඨක අර්ථ සම්පාදනය කරන දේවල්. නමුත් ජැක්සන්ගෙ උපකල්පනයක් තියෙනවා මේව නෙවෙයි වැදගත් වෙන්නෙ මම මේ කියන කතාවයි කියල. නැහැ! මේවත් අර්ථ සම්පාදනය කරනවා, සමහරවිට, කතාවටත් වැඩිය.

ප‍්‍රශ්නය: ඉතිහාසය පිළිබඳව උනන්දුව දක්වන පිරිස්, චිත‍්‍රපටයේ ඉතිහාස කතාව ඇත්තද, බොරුද කියන එකටයි වඩා උනන්දු වෙන්නෙ. එ්ත් චිත‍්‍රපටය සාමාන්‍ය ජනයා නරඹන විට, එයාලා ඉතිහාසය එක්කම පැටලෙනවා කියලා කියන්න බැහැ. ඉතිහාස කතාව සාමාන්‍ය පේ‍්‍රක්‍ෂකයාට වැදගත් වෙන්නෙ කොහොමද?

නිර්මාල්: එ් ඉතිහාස කතාවටත් තියෙනවා Semiotic value එකක් (සංඥාර්ථමය වටිනාකමක්). ඒකෙ තියෙන්නෙ ඉතිහාසඥයින් තුළින් ආපු වටිනාකම් නෙවෙයි පසුගියකාලෙ මහා සිංහලයේ වංශකතාව වගේ එ්වා තුළින් ඇතිවූ වටිනාකම්. මේ වගේ චිත‍්‍රපටවල පේ‍්‍රක්ෂකයා සඳහා චිත්තරාජ අර කන්දක් මුදුනෙන් එන එක වගේ දර්ශන අවශ්‍යයි. එවා අළුතෙන් හොයන්න ලේසි නෑ – තියෙන සිනමා තාක්ෂණ කතිකාවෙන් තමයි ගන්නෙ. කැමරාකෝණය ගත්තත්, එ් Shots තාක්ෂණිකවම නිර්වචනය කරල තියෙනවා. මෙහි අරුත් සෙවිය යුත්තේ යුදෙව් චින්තනය තුළ නොවෙයි, චිත‍්‍රපට තාක්ෂණය තුළයි. අනික තව කීප දෙනෙක්ම මට කියපු සහ මටත් හිතුන දෙයක් තමයි මේකෙ හබරාගේ චරිතය දැක්ක ම මතක් වුනේ ජයන්ත චන්ද්‍රසිරිගේ අග්නිදාහය චිත‍්‍රපටියේ කමල් අද්දරආරච්චි රඟපාන චරිතය. මිනිහත් නිතර ගුලිවෙලා ඉන්න තට්ටෙ තියෙන චරිතයක්. ජැක්සන්ගෙ මේ කෘතිය ඇතුලෙ ජයන්ත චන්ද්‍රසිරිගේ මුද්‍රාව තියෙනවා. අත්, මෝරා, වගේ නාට්‍යවල තිබුණ ලක්ෂණ තියෙනවා. එ් සංඝටක එන්නෙ එහෙන්. මේ සියළු සංඝටකවල එකතුවක් තමයි අබා චිත‍්‍රපටිය කියන්නෙ. මේවා චිත‍්‍රපටයක තියෙන ෂානරීය ලක්ෂණ. ලංකාවේ හැම තැනම කඳුමුදුන්වල සිද්ධස්ථාන තියෙනවා වගේ සිරිපාදෙ, මිහින්තලේ, මුල්කිරිගල, සිතුල්පව්ව වගේ තැන්වල වගේම මේකෙත් එහෙම තියෙනවා. පසුබිමේ කඳු මුදුනකින් දැවැන්ත පුරුෂයෙක් නැගී සිටිනවා. එ්ක පේ‍්‍රක්ෂකයාට අවශ්‍යයි. අශ්වරථ, බලකොටු අවශ්‍යයි. එ්ක එ් කාලෙ තිබුණද, නැද්ද කියන එක වැදගත් නෑ. අනික යක්ෂ ගෝත‍්‍රිකයෝ කියල කට්ටියක් හිටියනම් එයාල ඇන්දෙ පැළැන්දෙ කොහොමද කියල කවුරුත් දන්නෙ නැනේ. ඒ නිසා ගොත‍්‍රිකයා මවන්න වෙන්නෙ අප‍්‍රිකානු හරි පුර්ව කොලොම්බස් ඇමරිකානු හරි ගෝත‍්‍රික images වලින්. ජැක්සන් දන්නෙත් එ්වා ගැන. ඉතිහාස කොටසත් එ් ෂානරයෙ එක කොටසක් විතරයි. එ්ක හින්දි චිත‍්‍රපටවල සිංදු තියෙනවා වගේ තමයි. මේ historical semiotic එකට වටිනාකමක් තියෙනවා. අපි ඇමරිකාවෙ Cow boy චිත‍්‍රපටි ගත්තොත් එ්වායේ අමරිකානුවගෙ Frontier ෆැන්ටසි එක තියෙනවා. ඇමරිකානුවට නිතරම තියෙනවා තම පෙරමුණ ඉදිරියට ගෙනයාමේ ෆැන්ටසිය. මුලින්ම රතු ඉන්දියානුවව කෙලවරට තල්ලූ කරමින් අත්ලාන්තික් සාගරයේ සිට, පැසිපික් සාගරයට යනකම් ඇමරිකාවේ මායිම ගෙනියනවා – දැන් එ්ක අඟහරුලෝකෙට යන එක වෙන්න පුළුවන්. සයිබර් අවකාශය අත්පත් කර ගැනීමත් එහෙමයි.

ප‍්‍රශ්නය:  නමුත් දැන් ජැක්සන්ගෙ අනන්‍යතාව හැදෙන්නෙ මේක නිර්මාණයක් විධියට මොනතරම් සාර්ථකද මොනතරම් cinematicද කියන එකෙන් නෙවෙයි. මේ පවතින අධිපති දෘෂ්ඨිවාදී සැකැස්මෙන්මයි එයාට එයාගෙ අනන්‍යතාව හොයන්න යන්න වෙන්නෙත්,…

නිර්මාල්: ඔව්.ඔව්. දැන් ජැක්සන් අබාගෙ පීතෘත්වය ගැන පස්සෙ දෙන උත්තරේ තියෙන්නෙ මෙය මාතෘ මූලික සමාජයක්,  දීඝ ගාමිණිගෙ අම්ම යක්ෂ ගෝත‍්‍රයට අයිතියි වගේ කථා. සමහරවිට චිත‍්‍රපටිය හදනකොට ඒවා තියෙන්න නැතිව ඇති. එහෙම හිතන්න පුළුවන් කිසිම සලකුණක් අඩුම වශයෙන් අපට චිත‍්‍රපටියෙන් ලැබෙන්නෙ නෑ.

ප‍්‍රශ්නය:  දැනටමත් ජැක්සන් එ්කට උත්තර 3 ක් දීල තියෙනවා. එ් මගින් එයා, එයාව ගොඩනගා ගනිමින් ඉන්නවා.

නිර්මාල්: නෑ. මම කියන්නෙ මොන උත්තරය දුන්නත්, එ් ප‍්‍රකාශය තහවුරු වන සලකුණක් චිත‍්‍රපටිය තුළ ඉතිරි වෙලා තියෙන්න  ඕනනේ. මේ ප‍්‍රකාශයට සලකුණක් ඉතිරි වෙලා නෑ. හැබැයි දැන් චිත්තරාජ අබාගෙ තාත්ත කියන්න නම් සලකුණු  ඉතිරි වෙලා තියෙනවා චිත‍්‍රපටියෙ. දැන් ඔයා කිව්ව වගෙ ජැක්සනුත් මේක ඇතුලෙ පරිණාමය වෙලා තියෙනවා. එයාගෙත් විෂය ගොඩනැගෙනව. ඉවරවෙන්නෙ නෑ. එ්ක constructing, constructed නෙවෙයි.

ප‍්‍රශ්නය:  චිත‍්‍රපටිය පටන්ගත්තෙම මහින්දට ස්තූති කරලා. එයා, චිත‍්‍රපටය බලන එක ඇමති මණ්ඩලයට පවා අනිවාර්ය කරනවා. එතකොට මේක යුදවාදී හෝ ජාතිවාදී, දේශපාලන ව්‍යාපෘතිය සමග සමපාතයි. එ් කියන්නෙ චිත‍්‍රපටි ව්‍යාපෘතියත් අහිංසක නෑ. මේ උවමනාවන් හරි ගියාද? නැද්ද? කියන එක ගැන කතා කළොත්…

නිර්මාල්: එක හරිගියාද නැද්ද කියනවට වැඩිය අද සිංහල ජාතිකවාදයෙ පුනරුදයක්  තියෙනව. මේ revival එක ඇතුළේ සිංහලයාට සංස්කෘතික භාණ්ඩ අවශ්‍යයි (cultural artifacts). සිංහල ජාතිකවාදයේ මුල් පුනරුදය එනකොට, විසිවන සියවසේ මුල එතන තිබුණා. ජෝන් ද සිල්වාගෙ නාට්‍ය පියදාස සිරිසේනගෙ නවකතා, ඩබ්.එ් සිල්වාගෙ නවකතා වගේ ඒව. දැනුත් එහෙමයි. සිංහල සිනමාව නැතිවෙලයි තිබුණෙ. දැන් තියෙන සිංහල ජාතිකවාදය ඉස්සර වගේ නෙවෙයි. මේකට තියෙනව ජාත්‍යන්තර පසුබිමක්. ලෝකෙ හැමතැනම සිංහලයො ඉන්නව. (Disapora Community) ඒ හැමතැනටම මේක පෙන්නන්න  ඕන. එහෙට මේක පෙන්වන්න නම් එ් චිත‍්‍රපටවල ඉහළ standard එකක් අවශ්‍යයි.ඇමරිකාවෙ ඇමරිකානුවන්ට නෙවෙයි එහෙ සිංහල අයට පෙන්නද්දිත් එ්ක අවශ්‍යයි. එ් අයටත් පුළුවන් ආඩම්බර වෙන්න ‘අපේ උන්ටත් පුළුවන් මේව කරන්න’ කියල. අලූත් සිංහල ජාතිකවාදය ආරියතිලක පීරිස් වගේ අය කියන්නෙ පසුගාමීය කියල. මං කියන්නෙ නම් පසුගාමී නෑ. කෝටි ගණන් වියදම් කරල, හොඳම තාක්ෂණය පාවිච්චි කරල, ජාත්‍යන්තරයට ගිහින්, අන්තර්ජාලය යොදාගෙන කරන වැඩක, මේකග ජාතියක රුඩසඩ්ක එක හැදෙන්නෙ අදහස් උඩම නෙමෙයි. sprit එක නෙමෙයි – essence එකම නෙමෙයි – සාරය නොවෙයි. එ් සාරය ගැබ්කරගත් එවා ලෙස පෙන්නුම් කළ හැකි Artifacts, ද්‍රව්‍ය  ඕන. එ්ව තමයි මේ එන්නෙ. එ්ක යුද්ධයට, මහින්දගේ ව්‍යාපෘතියට ලඝුකරන එක හරි පටුයි. මහින්ද රාජපක්ෂ කියල කියන්නෙමත් එ් ඇතිවෙච්ච revival එකේ තවත් artifact එකක් සංස්කෘතික භාණ්ඩයක්. අබා වගේම තමයි මහින්ද රාජපක්ෂත්. මහින්ද චින්තනය කියන එකේ ‘මහින්ද’ කියන්නේ එ්ක මහින්ද හැදුව නිසා නෙමෙයිනෙ. එ්ක මහින්දගෙ චින්තනය ද? නැහැනෙ! එ් කාලෙ හිටපු සුනන්ද දේශප‍්‍රියල, වික්ටර් අයිවන්ල, එස්.බී. දිසානායකකල චන්ද්‍රිකා චින්තනය ලිව්ව වගේ මහින්ද චින්තනය ලිව්ව විමල් වීරවංශලා, උදය ගම්මන්පිලල, චම්පික රණවකල වගේ අය. මහින්ද කියන්නෙත් අන්න එහෙම මේ වෙලාවෙ අවශ්‍ය කෙනෙක්. මහින්ද UN එකට ගිහිල්ල සිංහලෙන් කථා කරනවා. සාටකේ දානවා. එයත් අබා වගේම සිංහල ජාතිකවාදයේ cultural artifact එකක්. එයා තවදුරටත් රාජ්‍ය පාලකයෙක් නෙවෙයි. එ්ක තේරුම්ගත යුත්තේ එ් විධියටයි. දැන් ගෝලීයකරණය ඇතුලේ ජාතිකවාදයේ වර්ධනයටත් ඉඩක් තියෙනවා. මේ දෙකට එකට යන්න පුළුන්. අබා ගැන රෝහිත භාෂණ වගේ කෙනෙක්ගෙ විග‍්‍රහයෙ තියන අඩුව තමයි – එයා මේක ලඝු කරනව යුද්ධය හා එ් ආශ‍්‍රිතව ඇතිවෙන political conjunture එකට. යුද්ධය කියන්නෙත් දැන් මහින්ද රාජපක්ෂ වගේම සිංහලයා එකතු කරන cultural artifact එකක්. ඇත්තටම දැන් යුද්ධය නතරවෙන එක සිංහලයගේ පැත්තෙන් හරිම භයානකයි.

ප‍්‍රශ්නය: ඔය විධියට ගත්තම මේ ඇතිවෙලා තියෙන විවාදය පවා එ්කෙ එකක් හැටියට ගන්න පුළුවන්නෙ. මේක පවතින්න මේ විවාදය අවශ්‍යයි. දැන් ඔය රාජකීය ආසියාතිකයින් කියන තැනින්ම චිත‍්‍රපටයක් හදන්න ගියොත් කව්රුවත් බලන එකක් නැහැනෙ.

නිර්මාල්: ඔව්. චිත‍්‍රපටය තුළ අවශ්‍යයි එහි ඊට වැඩි දෙයක්. (more than itself). මහා වංශයට වඩා වැඩි දෙයක් අවශ්‍යයිනෙ. මොකද මහාවංසය හැමෝම දන්නවනෙ.

ප‍්‍රශ්නය: විවිධ ආකාරයට, ඉතිහාසය පිළිබඳව මතු වෙලා තියෙන සාකච්ජාවත් අපට මඟහරින්න බෑ. එ් සංවාදය මේ වෙලාවෙ විශාල කාර්යභාරයක් කරනවා. ඉතිහාසය පිළිබඳ සංවාදයට ඇතුළු වෙනවා නම් නිර්මාල්ගෙ ප‍්‍රවේශය මොන වගේද?

නිර්මාල්: පස්වන සහ හයවන ශතවර්ෂවල ලියවුණු දීපවංසය හා මහාවංසය වැනි කෘතිවල තියෙන දේට අමතරව ලියවුණු දේවල් ටිකකුත් තියෙනව. උදාහරණයක් විදියට කුමාරතුංග මුනිදාසගෙ ඉතිහාසයෙන් පටන්ගෙන ඊට පස්සෙ අරිසෙන් අහුබුදුලගෙ සම්ප‍්‍රදායට එනවා. නලින් එ්ක අලූත් විදියකට articulate කරල – කොහොම හරි එහෙම කියනව – එ්කට ඊට පස්සෙ ඇතුළු කර ගන්නව ශිරාන් දැරණියගලගේ – පුරාවිද්‍යාත්මක යම් යම් සොයා ගැනීම් යනාදිය. මහාවංසයෙන්නෙ අපට පණ්ඩුකාභය කතාව ගැන කතා කරන්න අවශ්‍ය දේ ලැබෙන්නෙ. එතකොට මොකක්ද එ් කතාව. දැන් මම දන්න විදියට මහාවංසය ගැන බැරැරුම්ම අධ්‍යයනය (විශේෂයෙන්ම මහාවංසයේ මේ කාලය ගැන) කරල තියෙන්නෙ ජී.සි.මෙන්ඩිස්. ඔහු පෙන්වන ප‍්‍රධාන කරුණක් තමයි මේ පණ්ඩුකාභය කතාව සහ විජය කතාව කියන දෙකම එ් සමකාලීනව තිබුණු නොයෙක් කතා එකතු කරල හදපු එකක්ය තියලා. සාමානයෙන් එහෙම තමයි කතා හදන්නෙ. වංශ කතාවල එන පණ්ඩුකාභය කතාවත් හදපු එකක්. එ්ක හරියට සමාන කළොත් අබා චිත‍්‍රපටිය හැදුව වගෙයි. අබා චිත‍්‍රපටියට ඔන්න දැන් යෝජනා කරල තියෙන විදියට Lord of the Ring , Benhur,Ten Commandments සහ තවත් විදියකට ජයන්ත චන්ද්‍රසිරිගෙ නාට්‍යවලින්. මට ඔය සටන් ජවනිකා දකිනකොට මතක් වෙන්නෙ වූෂූ සටන්. එ් වගේම හොලිවුඞ් දර්ශන සහ බොලිවුඞ් නැටුම් වගේ තැන් තැන් වලින් ඇවිල්ල තමයි එ්ක හැදෙන්නෙ. එහෙම තමයි  ඕන එකක් වෙන්නේ. දැන් එ් වගේ මහාවංසයේ එන පණ්ඩුකාභය කතාව ගැන ජී සී මෙන්ඩිස් කියනව මේකට අඩංගු වෙලා තියෙනව විවිධ ජාතක කතා වල තියෙන කොටස්. ඊලඟට මහාභාරතයේ කථා. එතනදී මහාභාරතයේ තියෙන ක‍්‍රිෂ්ණගෙ කතාව ගොඩක් මේකට සමානයි. ක‍්‍රිෂ්ණවත් මරන්න එනකොට එයා හැංගිලා ඉන්නව. එයත් හැංගිලා ඉන්නෙ ගොපළුන් අතර තමයි. මෝසෙස්ගෙ කතාවෙත් ළමයි මරණ කතා තියෙනව. ජීසස්ගෙ කතාවෙත් මේවා තියෙනව. ඉතිං මේවා මේ තියෙන කථා එකතු කරල හැදෙන දේවල්. දැන් ජී සී මෙන්ඩිස් කියන්නෙ මහාවංසය අඛ්‍යානය තුළ මේ කතා වලට තියෙනව function එකක්, කෘත්‍යයක්. මේව යම් කිසි කාර්යභාරයක් කරනවා – අඛ්‍යානමය කාර්්‍යභාරයක් – ඒ කියන්නෙ මගේ වචනයෙන්. ජී සී මෙන්ඩිස් ගෙ වචනයෙන් නෙවෙයි. මේ කතා ජී සී මෙන්ඩිස් ආඛ්‍යානමය කාර්යභාරයක් ඉටු කරනව කියන්නෙ මොකක්ද?  මොකද්ද මේ ආඛ්‍යානමය කාර්යභාරය?  ජී.සී.මෙන්ඩිස්ගෙම වචනයෙන්ම කියනව නම් මෙහෙමයි “මේ කරුණු අනුව බලන විට විජය රජු මෙන්ම පණ්ඩුකාභය රජු ද ඓතිහාසික පුද්ගලයකු නොවිය හැකි බවත් එ් දෙදෙනා ගැන සඳහන් කර ඇත්තේ බුද්ධ පරිනිර්වානයේ පටන් මුටසීව හෝ දේවානම්පියතිස්ස දක්වා ලංකාවේ රාජ්‍ය නාමාවලියේ හිස්තැන් පිරවීමට බවත් පෙනේ.” මේ විදියට gaps තියෙනව.  උදාහරයක් විදියට මේ කාරණාව ලෙස්ලි ගුණවර්ධන සාකච්ජා කරල තියෙනව “Kinsman of the Buddah” බුදුන්ගේ ලේ නෑයෝ කියන ලිපියෙ. යම් කිසි කාලෙක මතයක් තහවුරු වෙනව බුදුන් සහ දිවයින අතර සම්බන්ධයක් තියෙනව කියල බුදුහාමුදුරුවන්ගේ ජීවිතය සහ බුදුහාමුදුරුවන්ගෙ ධර්මය එ් ධර්මයේ පැවැත්ම සහ මේ දිවයිනේ ඉරණම අතර සම්බන්ධයක් තියෙනව කියල – එතකොට…. මේ සම්බන්ධය තහවුරු කරන්න නම් මේ දිවයිනේ ඉතිහාසය සහ බුදුහාමුදුරුවන්ගේ ඉතිහාසය අතර සමකාලීනත්වයක් ඇති කරන්න  ඕන. එ්ක කරන්න නම් මහාවංසය ලියනකොට රාජ පරම්පරා ඉන්නවනෙ-මේව සම්බන්ධ කරන්න  ඕන. දැන් මහාවංසය ලියනකොට බුදුන් හිටියේ මීට අවු 1000 ට කලින් කියල දන්නවනෙ. එතකොට එ් සම්ප‍්‍රදාය එ් තිබුණු අට්ඨකතා වගේ දේවල් අරගෙන බලනකොට දන්නව බුදුන් හිටියෙ මීට අවුරුදු 1000කට හෝ 1200කට ඉස්සරවෙලා. දැන් එතකොට gap එක පුරවන්නෙ අන්න අර විවිධ මූලාශ‍්‍රවලින් එකතු කරල හැදුන කතාවලින්. දැන් අපි දන්නෙ නෑ එ් කතා වංසකතා කරුවන්ම ගොඩනගනවද, නැත්නම් එ් කාලේ තිබුණු කතාද කියල. කොහොම උනත් එ් කතා දෙකේම මේ mythical ස්වරූපය තියෙනව. දැන් උදාහරණයක් විදියට අපි බැලූවොත් මේ යක්ෂයො කියන එක. දැන් බලන්න – මෙන්න මේක හරිම වැදගත් – දැන් හැමෝම පාවිච්චි කරනව නේද ‘‘යක්ෂ ගෝත‍්‍රිකයෝ’’ කියන වචනය. මෙය විවේචනය කරන අයත් – නලිනුත් – මේ ‘‘යක්ෂ ගෝත‍්‍රිකයෝ’’ – කියන වචනය පාවිච්චි කරනව. දැන් කොහෙන්ද මේ යක්ෂයො කියන්නෙ ගෝත‍්‍රිකයො කියන එක එන්නෙ? මහාවංශය තුළ ජී සී මෙන්ඩිස් මේ ප‍්‍රශ්නය හරියටම සාකච්ජා කරනව. එයා කියනව යක්ෂයො කියන්නෙ මනුෂ්‍යයෝ ජාතියක්  කියන එ් අදහස පිළිගන්න කිසිම උපකාරයක් වංස කතා වලින් නම් අපිට ලැබෙන්නෙ නෑ කියල. වංශ කථාවල තියෙන පදනම මේ අය කියන විදියට මේ අමනුෂ්‍යයෝ. දැන් බලන්න මේ චිත‍්‍රපටියෙන් කියනව යකුන්ගේ රැහේ ලේ ධාතුව – හරියට එ් මිනිස්සු තමන්ව හඳුනා ගත්තු නම විදියටනෙ, නේද? එ් ගොල්ලන්ගේ self identification එක. යක්කු කියන වචනය ඉන්දු-ආර්ය සංස්කෘත (යක්ඛ-යක්ෂ) භාෂා මූලයක් සහිත වචනයක්. එ් වගේම තමයි ඔය දේව, නාග වචන සංස්කෘත මූල සහිත එහෙම නැත්නම් ඉන්දු-ආර්ය භාෂා සංකේත (අරිසෙන් අහුබුදු වගේ අයට මීට වෙනස් අර්ථකථන තියෙන බවත් කියන්න  ඕනෙ.) දැන් බලන්න මේ කතිකාව තුළ අඟවන්නෙ යක්ෂ කියන්නෙ කිසියම් ජන කොට්ඨාසයක් තමුන්ව හඳුන්ව ගන්න පාවිච්ච් කළ නම කියලනෙ. මෙන්න මේක තමයි මෙතන තියෙන trap එක. මේ යක්ෂ කියන අදහස බෞද්ධ සාහිත්‍යයේ තියෙන යම්කිසි notion එකක් – අදහසක්. දැන් යක්ෂ දමනය බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. දැන් මෙතනත් තියෙනව එකක්. බුදුහාමුදුරුවො ලංකාවට ඇවිත් යක්කු පන්නනවා. ගිරි දිවයිනක් මවල ගිරි දිවයිනට යවනව. එතකොට යක්කු නෑනෙ. එකෙදි මේ දිවයින සුද්ධ කරනව. නමුත් විජය එනකොට යක්කු ඉන්නවා. එතකොට එ්කෙනුත් පේන එකක් තමයි මේ කතා හැදෙන්නෙ වෙන වෙනම කියල. අපි හිතමු කවුරු හරි එක්කෙනෙක් කතාව හැදුවනම් එහෙම වෙන්නෙ නෑනෙ. සංගත වෙනවනෙ. මෙතනදී සංගත නෑ කතාව. තැනින් තැනින් ගන්න දේවල්. එ්ක හරියට මේ වගේ. දැන් ඔය චිත‍්‍රපටියක් හැදුනලූ ඔරලෝසු දාගෙන කඩු සටන් කරන. මද්දුම බණ්ඩාරගෙ හිස කඩු පහරින් වෙන් කරන කොට උඩ තියෙනවලූ ලයිට් කම්බි. අංගුලිමාල දුවන්නෙ කිරිකට්ටියක් මැදින්. ඒ වගේ ගැලපෙන්නෙ නැති එ්ව එකතු වෙලා. මේ වගේ වෙන වෙනම තියෙන සංඝටක (element) එක ආඛ්‍යානයක් තුළට ගෙනාවාම එ් සංඝටක පැවතණු තැන තිබුණු සමකාලීනත්වය මෙතනටත් එනව. එතකොට මෙවැනි පරස්පරතා තියෙනව. ජී.සි. මෙන්ඩිස් පැහැදිලිවම කියන එකක් තමයි මේ යක්ෂයො කියන එක mythical notion එකක්. ඉන්දියානු සාහිත්‍ය සම්ප‍්‍රදාය තුළ සුර අසුර කියල සංකල්පයක් තියෙනව. නාගයෝ ගැන අදහස් තියෙනව. දෙවියන් ගැන අදහස් තියෙනව. නාගයො කියල කියන්නෙ පොළොව යට ඉන්න ජාතියක් උන් උඩට එනව – මැණික් රකිනව – මේ යම්කිසි විදියකට මිථ්‍යාමතික ලෝකයක්. එ් මිථ්‍යාමතික ලෝකයක තියෙන සංඝටක. දැන් අපි මිථ්‍යාමතික ලෝක හදනවනෙ. දැන් එ්ක ඇතුලෙ ඉන්නවනෙ පෙරේතයො, කුම්භාණ්ඩයෝ – දැන් තව ටික කාලෙකින් කිව්වොත් කුම්භාණ්ඩ ගෝත‍්‍රය, පෙරේත ගෝත‍්‍රය වගේ එ්වා, දැන් පෙරේතයො අපි අඳිනවනෙ නේද? පෙරේතයො අඳින්නෙ මිනිස්සු වගේනෙ. බහිරවය අපි අඳිනව. දැන් තව අවු 5000 කින් විතර මේව දැකල කිවුවොත් එහෙම ‘‘බහිරව ගෝත‍්‍රය’’ නැත්නම් ‘‘බහිරව ගෝත‍්‍රිකයින්ගේ ලේ ධාතුව’’ කියල. දැන් අපි දන්නවනෙ මේක joke කියල අපේ mythical creation. දැන් ජී සී මෙන්ඩිස් පෙන්නන්නේ මේ යක්ෂ, නාග, දේව කියල කියන්නෙ එ් ජනයාගේ mythical creation කියල. හැබැයි මෙතනදී ජී.සි. මෙන්ඩිස්ට වඩා වෙනස් එකක් මම කියනව. එ් තමයි මේ mythical construction එක තුළ මගෙ අදහස නම් නියෝජනය වෙනව ඔය උතුරු ඉන්දියාවෙන් ආපු ජනයා එනකොට මෙහෙ හිටපු ජනයා සමඟ ඇති වූ ගැටුමේ යම් යම් පැති. දැන් යම්කිසි ජනකොටසක් ගැටෙන කොට සිද්ධ වෙන දෙයක් තමයි, පරාජිතයාව අමානුෂිකකරණය කිරීම (dehumanize) එතකොට තමයි පුළුවන් වෙන්නෙ පරාජය කිරීම සාධාරණීකරණය කරන්න. දැන් ඇමරිකන්කාරයො අනිත් මිනිස්සුන්ව Dehumanize කරන්නෙ එ් වගේ නෙ.

ප‍්‍රශ්නය:  ලංකාවට ඉංග‍්‍රීසීන් ආවාමත් එ්ක එ විදියට වුණානෙ

නිර්මාල්: ඔව්. එ් ගොල්ලො සම්පූර්ණයෙන්ම මිනිස්සු නෙවෙයි. එ් වගේ dehumanization  එකක් තිබුණා. එතකොට dehumanize කරන්න තමයි මේ ‘යක්කු’ කියලා කියන්නෙ. නැතුව ඔවුන් යක්කු නිසා හෝ ඔවුන්ගේ ගෝත‍්‍රය යක්කු නිසා නොවෙයි. එ්ක dehumanize කිරීමේ mode of dehumaniztion එකක්. එ්කනාමකරණය කරනවා, මනුෂ්‍ය නොවන නාමකරණයකට. යක්කු, නයි, මායාකාරීයන් යනාදී නාමකරණයන් එහෙම තමයි එන්නෙ. දැන් මටනම් හොදටම joke මේ යක්ෂ ගෝත‍්‍රිකයෝ කියන එක. දැන් ජී සී මෙන්ඩිස් කියලා තියෙන එක කවුරුවත්  ගණන් ගන්නෙවත් නැහැ. ජී සී මෙන්ඩිස් ගේ විග‍්‍රහය අපි තව ඉස්සරහට ගෙනියන්න  ඕන. දැන් වෙලා තියෙන්නෙ එ්ක එතන නැවතිලා. එක බල්ලට දාලා. දැන් මෙන්ඩිස් රොහණධීර කියනවා මේ කාලය ගැන කවුරුත් මොකුත් කියල නැහැ. එ් හින්දා  ඕන කෙනෙකුට  ඕන දෙයක් කියන්න පුළුවන්ය කියලා. ඉතිං  ඕන කෙනෙකුට  ඕන දෙයක් කියන්න පුළුවන් නම්  ඕක ගැන පැටලිලා වැඩක් නැහැනෙ. දැන් එ් අර්ථයෙන් මම කැමතියි අබා චිත‍්‍රපටිය භාරගන්න. එ්කත් මහාවංසයම වගේ වැඩක්. දැන් මම කැමතියි ටිකක් ජී සී මෙන්ඩිස්ටත් එහාට එන්න මහාවංසය ගැන විග‍්‍රහ කරනකොට. මම කියන්නෙ සද්ධාතිස්ස වෙනකල්. දුටුගැමුණුගේ අභාවය වෙනකල් කොටස ඇවිල්ල මූලික වශයෙන් mythical. සද්ධාතිස්සගෙන් පස්සෙ මහාවංසයේ ව්‍යූහාත්මක වෙනසක් තියෙනවා. සද්ධාතිස්සගෙන් පස්සේ කතන්දර වලත් මේ තත්වය යම් යම් තැන්වල පේන්න ගන්නවා. උදාහරණයක් විදිහට වලගම්බා ගැන කියන කොට ඔන්න අර වගේ කතා එනවා. එතකොට බුද්ධදාස ගැන කියනකොට ආයෙත් එ් වගේ කතා එනවා. නමුත් සද්ධාතිස්සගෙන් පස්සේ පැහැදිලි කාලානුක‍්‍රමයක් (chronology) තිබෙනවා. ඉන් එහා chronology එක දන්නෙ නැහැ. දැන් දුටුගැමුණුගේ සටන් ව්‍යාපාරය කියන්නෙ අනුරාධපුර රාජ්‍යය ගොඩනැංවීම ගැන හදපු mythical construction එකක්. එ්ක ගැන හදපු myth එක. දුටුගැමුණු  (ගාමිණී අභය) කියල රජ කෙනෙක් ඉන්න ඇති. ජී සී මෙන්ඩිස් කියනවා දේවානම්පියතිස්ස හිටිය කියල. නමුත් එ්ක නම් හරිම අනතුරුදායක නිගමනයක්. මොකද ‘‘දෙවනපිය’’ කියල ගොඩක් ඉන්නවා. මම කියන්න හදන්නෙ ජී සී මෙන්ඩිස්ටත් එහා දෙයක් ගැන. ජී සී මෙන්ඩිස් කියනවා දේවානම්පියතිස්සගෙන් එහා ඉතිහාසය තේරුම් ගන්න වෙන්නෙ mythical විදියට කියල. පුරාවෘත්තමය විදියට නැත්නම් කතන්දර විදියට කියල. මම කියන්නෙ සද්ධාතිස්සගෙන් එහා වංශ කථා විස්තර පිළිගන්න වෙන්නෙ මිථ්‍යා ප‍්‍රබන්ධමය ගොඩ නැංවීම් විදිහට කියල.

දැන් මේ යක්ෂයො, නාගයෝ, දේවයෝ කියලා කියන්නෙත් දැන් අපි බහිරවයෝ, පෙරේතයෝ ගැන කියනවා වගේ දේවල්. මේගොල්ලන්ට මිනිස් වෙස් ගන්න පුළුවන් කියලයි කියන්නේ. දැන් මෙතනදී අපිට තේරුම් ගන්න දෙයක් තියෙනවා. මනුෂ්‍යයාගේ ලෝකය හැරුණාම තවත් නොපෙනෙන ලෝකයක් තියෙනවා කියලා හිතන ප‍්‍රවණතාවක් හිතනවනෙ හැමදාම. දැන් හැරී පොටර් වගේ කථාවක් ගත්තොත්, එකේ තියෙන ලෝකයට එහා ගිය තවත් ලෝකයක් තියෙනවා. එ්කෙ අමුතු සත්තු, මිනිස්සු ඉන්නවා. සාමාන්‍යයෙන් මිනිස් පරිකල්පනය තුළ එ්වගේ පරිකල්පිත ලෝක තියෙනවා. මේ ලෝක වල දිය කිඳුරියෝ, මකරු, පෙරේතයෝ, බහිරවයෝ, යක්ෂයෝ, පිසාචයෝ වගේ නොයෙක් නම් වළින් හඳුන් වන sub human අර්ධ මිනිස් කොට්ඨාස ඉන්නවා. මනුෂ්‍ය ස්වරූපයකුත් තියෙනවා. එ්ක වෙනස් වෙනවා මේ වගේ. ඉතිං යක්ෂයෝ නාගයෝ  කියලා කියන්නේ මේ මිනිස් පරිකල්පනය තුළ තියෙන පරිකල්පනීය ලෝකවල තියෙන සංඝටක. හැබැයි දැන් අපට  ඕන නම් බහිරවයින්ව සම්බන්ධ කරන්න පුළුවන් වහලූන්ට. වැඩකරන මිනිස්සු ඉන්නවනෙ. දැන් බහිරවයෝ කලාකෘතිවල ඉන්නෙ යමක් කරගහගෙන. එතකොට වහලූන්ව Dehumanize කරලා දීපු නම තමයි බහිරවයෝ කියලා කියන්නෙ. එතකොට යක්ෂයෝ කියලා කියන්නේ මනුෂ්‍යයෝ පිරිසක් dehumanize කරපු එක විදියක්. ඉතිං එකෙන් අදහස් වෙන්නෙ නැහැ මේ මිනිස්සුන්ගෙ අනන්‍යතාව එයාලගේ ස්ව අනන්‍යතාවක්  (self identity) කියල. එ්ක මං හිතන්නේ මතු කළ යුතු වැදගත් කාරණයක් කියල. එ්ක හරියට තහවුරු කරගත්තාම මේ මුළු සාකව්ජාවම අමු ජෝක් එකක් බවට පත්වෙනවා. එ් නිසා ‘‘යක්ෂ ගෝත‍්‍රය’’ කියලා කියන එකටම මට කියන්න තියෙන්නෙ මළ විකාරයක් කියලා තමයි. එ්කට ඊට වඩා දෙයක් කියන්න නැහැ. එ්ක හරියට ග‍්‍රීක ‘Ethnos’ රෝම (Barbarian) යනාදී වචන වගේ. මේ පද ග‍්‍රීක, රෝම නොවන පිරිස් හැදින්වීමට එ් අය පාවිච්චි කරපු වචන.

දැන් මේකෙ තව පැත්තක් තියෙනවා. ආරම්භක මිත්‍යාවන් හෙවත් අපේ යම් යම් දේවල් ආරම්භ වුනේ කොහොමද කියන කාරණය. අනුරාධපුර රාජධානිය ආරම්භ වුණේ කොහොමද? නලින් කියන විදියට සිංහල ජාතියේ ආරම්භය තමයි පණ්ඩුකාභයගෙන් සිද්ධ වුනේ.ලංකාවේ ඉතිහාසයේ මුල් කාලීනව අනුරාධපුරය කේන්ද්‍ර කරගත්ත සමාජ සැකැස්ම ගැන බැ?රුම්ව අධ්‍යයනය කරපු ඉතිහාසඥයෝ ඔය යක්ෂ ගෝත‍්‍ර කතා වගේ දේවල් ගණන් ගන්නෙ නැහැ. ජී සී මෙන්ඩිස්ගෙන් පස්සෙ පරම්පරාවේ හිටපු ලක්ෂ්මන් සුසන්ත පෙරේරා කියන සුප‍්‍රසිද්ධ ඉතිහාසඥයා ප‍්‍රකාශ කරන්නෙ වංසකථා කියන්නෙ පස්වන හයවන ශත වර්ෂවල වාර්තා කරපු ලේඛන. එ්වාට කලින් විවිධ සම්ප‍්‍රදායන්  තිබුණා. නමුත් අපි දන්නෙ නෑ, එ්වයේ තිබුනෙ මොනවද නොතිබුණේ මොනවද කියල. ආරම්භය කොතනද කියන එක ඉතිහාසයට හරි වැදගත්. එ් වගේම යම් කිසි ආඛ්‍යානයක් ආරම්භ කරන්නෙ කොතනිින්ද කියන එකත් හරි වැදගත්. සමහරු කියනව ලංකාවට අවු 2500ක ඉතිහාසයක් තියෙනව කියල. එහෙම කියන්නෙ විජය ගේ ඉඳල 2500යි කියලනෙ. හැබැයි මේක කරුණක් විධියට වැරදියි. කව්රුහරි මහාවංශය කියවල තියෙනවනම් මේක පට්ටපල් බොරුවක්. මහාවංශයට අනුව ලංකාවේ පළමු රජ්ජුරුවො කවුරුද? මහාවංශයට අනුව කකුසඳ බුදුන්වහන්සේ ලංකාවට එනකොට ලංකාවේ හිටියෙ සමිද්ධි කියලා රජෙක්. කෝනාගම බුදුන් ලංකාවට එනකොට ලංකාවේ හිටියෙ ජයන්ත කියල රජෙක්. වර්තමාන ගෞතම බුදුන් එනකොට හිටියේ නාග රජවරු. අර කට්ටිය කෙළින්ම මනුෂ්‍ය රජවරුන් කියලා තමයි කියන්නෙ. ඇයි එතකොට එ් අය ගැන කියන්නෙ නැත්තෙ? ලංකාවේ මුල්ම රජු සමිද්ධි රජ්ජුරුවෝ කියලා නොකියන්නේ ඇයි? මහාවංශයේ තියෙන එක පිළිගන්නවානම් විජයට ඉස්සෙල්ලනෙ සමිද්ධි රජු හිටියේ. එතකොට 2500ක ඉතිහාස කතා කියලා වැඩක් නැහැනෙ. 2500 කියන එකට තියෙනවා වෙන අර්ථයක්. අපිට තියෙනවා mythical numbers  මිථ්‍යා ප‍්‍රබන්ධමය ඉලක්කම්. සිංහ සීවලීට හා සිංහබාහුට නිඹුල්ලූ 16ක් හම්බ වෙනවා. නිඹුල්ලූ 16 පිළිබඳ කතා තවත් තියෙනවා. බන්දුල මල්ලිකාවට නිඹුල්ලූ 16 ක් හම්බවෙනවා. සත්සීයක් පිරිස වගේ කථාත් එහෙමයි. එ් වගේම මේ 2500 කතාවත් හරි වැදගත්. මම දවසක් මැන්දිස් රොහණධීරගෙන් ඇහුවා ඇයි විජයගෙන් පටන් ගන්නේ සමිද්ධි වගේ අයත් හිටියනේ කියල. එයා ඔව්, ඔව් කියල ලිස්සලා ගියා. මොකුත් කිව්වෙ නැහැ. එ් දැනට අවුරුදු 15කට විතර ඉස්සර වෙලා. ඉතිං අපිට අවශ්‍යයි අන්න එහෙම ආරම්භක මොහොතවල්. ලෙස්ලි ගුණවර්ධන, ජී සී මෙන්ඩිස් වගේ අයත් කතා කරල තියෙන විදියට අපේ ජාතියේ ආරම්භයයි අපි අදහන ආගමේ ශාස්තෘවරයාගෙ අරම්භයයි අතර යම් සම්බන්ධයක් හදන්න යම් උත්සාහයක් තියෙනවා. ලෝකයේ තියෙන හැම ආගමික ප‍්‍රජාවක්ම උත්සාහ කරනව තමන්ගේ  ප‍්‍රජාව හා තමන් අදහන ආගමේ නිර්මාතෘ එක්ක මොකක් හරි link එකක් හදන්න. එ්ක බොහොම මානුෂික දෙයක්. එ් වගේ පාරභෞතික ආරම්භ ගොඩක් තියෙනවා.

ලංකා ඉතිහාසය ගත්තොත් අපට යෝජනා කරලා තියෙනවා මෙවැනි පාරභෞතික නොවන ආරම්භ. උදාහරණයකට ලක්ෂ්මන් පෙරේරා තමයි මේවා අධයයනය කිරීමේ පුරෝගාමී කාර්යය ඉටු කරලා තියෙන්නේ. එයා පටන් ගන්නෙ අපට හම්බවෙනව ක‍්‍රි.පූ තුන්වන ශතවර්ෂයට විතර අයිති සෙල්ලිපි තොගයක්. ඔය භික්‍ෂූන් වාසය කල ගල්ලෙන් කටාරම් වල කොටපු සෙල් ලිපි. එයා පදනම් වෙන්නේ මේ කියන විජය පණ්ඩුකාභය වැනි කතාවල එන සිදුවීම් සිදුවුණා යැයි කියන කාලයට බොහෝ කලකට පසු එ් ගැන ලියපු වාර්තාවල එ් සිද්ධිවල ආරම්භය විදියට දෙන පාරභෞතික දිනයන්ගෙන් නොවෙයි. ලක්ෂ්මන් පෙරේරා කියන්නෙ, අපි පටන් ගන්න  ඕන අර ගල්ලෙන් වල තියෙන කටාරම් ලිපි රාශියෙන් කියලයි. එ්වා ගැන, එ්වායේ තිබෙන ආයතන ගැන තමයි එයා කතා කරන්නෙ. එ්වායෙන් පිළිබිඹු වන සමාජය මොන වගේද කියන එක තමයි එයා කතා කරන්නෙ. සමහරුන්ට අනුව ඔන්න විජය ආවා ඊට පස්සේ පණ්ඩුකාභය, ඔහු අනුරාධපුර රාජ්‍යය පිහිටෙව්ව වගේ කතන්දරයක් තිබුණත් ලෙස්ලි ගුණවර්ධන, ලක්ෂ්මන් පෙරේරා ගිය පාරෙම ගිහින් කියනවා, දුටුගැමුණුගේ සටන් ව්‍යාපාරය තිබුණයි කියන කාලයේ ලංකාවේ තැන් තැන් වල ස්වාධීන දේශපාලන එ්කක අති විශාල ප‍්‍රමාණයක් තිබුණයි කියල. නැගෙනහිර පලාතේ, කෑගල්ල පැත්තේ, අනුරාධපුර පැත්තෙ තැන් තැන් වල, යනාදී ලෙස විවිධ ප‍්‍රදේශ වල විවිධ රාජ පරම්පරා සිටි බව එම කටාරම් ලිපි අධ්‍යයනය වන්නේ අර මතයි. එ්වා අරගෙන එකට තියලා බැලූවම අපිට එ් ලංකාවේ දේශපාලන සිතියම් ගැන අදහසක් ගන්න පුළුවන්. එ්ක ලෙස්ලි ගුණවර්ධන අධ්‍යයනය කළා. ඊට පස්සේ එයාගේම ශිෂ්‍යයෙක්  වන හඟුරන්කෙත ධීරානන්ද හාමුදුරුවෝ ප‍්‍රසිද්ධ ලේඛන දෙකක් පළකරලා තියෙනවා. එයාලා මේ දේශපාලන සැකැස්ම සිතියම් ගත කරලා තියෙනවා. එ් අනුව එ් සෙල්ලිපි කොටන කාලේ එකිනෙකින්  ස්වායත්ත කුඩා පාලන එ්කක, රජ කියලා තමන්ව හඳුනා ගත්ත දෙවන පිය කියන title එක පාවිචිචි කරපු අය ඉඳල තියෙනවා. මේකයි මහාවංශයෙන් මවන චිත‍්‍රයයි සම්පූර්ණයෙන්ම වෙනස්. දැන් සෙනරත් පරණවිතාණ අසංගත උත්සාහයක් අරගෙන තියෙනවා. ගල්ලෙන්වල තියෙන ලෙන්ලිපි වල එන පාලක පවුල් සහ මහවංශයේ තියෙන කතාන්දරය එකට ගැටගහන්න. ලෙස්ලි ගුණවර්ධන පෙන්නනව ඇයි එ්ක අසංගත කියන්නේ කියල.  මොකද මහාවංශය අත්හැර දැමීමෙන්  ලොකු ප‍්‍රශ්නයක් වෙනවා. (දැන් පරණවිතානම බුදුහාමුදුරුවෝ ලංකාවට ආව කියල සාක්ෂි නෑ කිවිව කියල ලොකු ප‍්‍රශ්නයකට මුහුණ දුන්නා). එතකොට මහාවංශ කතාවයි මේ ලෙන් ලිපි වල එන චිත‍්‍රයයි එකට එකතු කරන්න ලොකු උත්සාහයක් අරගත්ත. එල්ලාවල මේධානන්ද හිමියන්ගෙ පොත්පත්වලත් මෙවැනි උත්සාහයක් තියෙනවා. ලෙස්ලි ගුණවර්ධන පෙන්නල දෙනව එ් උත්සාහය සඳහා පදනමක් නැහැ කියල. එ් විග‍්‍රහයෙ පෙන්නන විදිහට පණ්ඩුකාභය කතාවලින් යෝජනා කරන දේවල් සහ සෙල්ලිපිවල අපට හමුවුණු දේවල් අතර ලොකු පරස්පරයක් තියෙනව. දැන් අපට සලකන්න පුළුවන් පණ්ඩුකාභය කතා, විජය කතා, දුටුගැමුණු කතා, මහින්දාගමන කතා වගේ එ්වා අනුරාධපුර රාජ්‍යය වර්ධනය වීමෙන් පස්සේ ගෙඩනගපු ඒව කියල ක‍්‍රි.පූ පස්වන හා හයවන ශතවර්ෂ කියන්නේ  රාජ්‍යය හොඳින් වර්ධනය වෙලා තිබුණ විශාල වැව් හැදිලා තිබුණු කාලයක්. වසභගේ සෙල්ලිපි ලංකාවේ හැම තැනම හමුවෙනවා. එතකොට අනුරාධපුර රාජ්‍යයේ ආධිපත්‍ය යම් කිසි විදියක ගොඩක් ප‍්‍රදේශවලට ගිහින්. එ් වගේ රාජ්‍ය ව්‍යාප්ත වුණ කාලයක සිටිය රාජ්‍ය පාලකයෝ සහ එම පාලක දෘෂ්ටිවාදය ගොඩනැගූ පිරිස් මේක ගැන පසු ආවර්තිත කතාන්දරයක් හදනවා. එතකොට එ් කතාවට අනුව හොඳට පේනවා (ලෙස්ලි ගුණවර්ධනගේ සහ ලක්ෂ්මන් පෙරේරාගේ සාකච්ජාවට අනුව ගත්තත්) අනුරාධපුර රාජධානියට තියෙන්නේ බොහොම සරල ආරම්භයක් (Humble origin)  සමහර වෙලාවට ඔය එලාර දුටුගැමුණු  යුද්දේ පවා වෙන විදියටක අර්ථකථනය කරන්න පුළුවන්. පේන විදියට රුහුණේ වර්ධනය වුණු පෙළපත සහ අනුරාධපුරයේ තිබුණු පෙළපත අතර ගැටුම් ඇති වෙලා තියෙනවා. එතකොට මේ වගේ ගැටුම් වංශකතා ඇසුරු කොටගෙන වර්තමානයේදී එය අර්ථකථනය කෙරෙන්නේ දෙමළුන් සහ සිංහල බෞද්ධයින් අතර ගැටුමක් විදියට. එකෙන් පෙන්නන්න උත්සාහ කරනවා දුටුගැමුණුට පාරම්පරික සම්බන්ධයක් තියෙනවා කියලා අනුරාධපුරයට. එ්කට මහාවංශයේ කතාවක් හදලා තියෙනවා. පරණවිතාන උත්සාහ කරල තියෙනවා එ් කතාව සෙල්ලිපි ආශ‍්‍රයෙන් තහවුරු කරන්න. නමුත් ලෙස්ලි ගුණවර්ධන පෙන්වා දෙනවා, එ්ක කරන්න පදනමක් නැහැ කියල. එතකොට මේවා වෙනම සිදු වුණු දේවල්. දැන් ඉන්දියාවේ ක‍්‍රි.පූ 6 වන ශතවර්ෂයේ ජනපද 16 ක් විතර තිබුණා – ත‍්‍රිපිටකයේ සූත‍්‍රවල එන විදිහට. එතනත් එක එක ජනපද තවත් අයව අල්ල ගන්නවා. කෝසල ජනපදය දිඝතී සහ පසෙනදී නැත්නම් ප‍්‍රසේනජිත් රජවරු දෙදෙනාගේ යටතේ ව්‍යාප්ත වුණා. ඊට පස්සේ බිමිබිසාර, අජාසත්ත, විජුඪබ වගේ අය යටතේ මගධ කියන එක ව්‍යප්ත වුණා. ඊට පස්සේ කුඩා ජනපද ක‍්‍රමානුකූලව අල්ලා ගන්නවා. ජනපද රාජ්‍ය තිබුණා. ගෝත‍්‍රික සමාජ තිබුණා, ශාක්‍ය කෝලීය වගේ එ්වා, මේ කුඩා එ්කක අල්ලාගෙන ලොකු එ්වා හැදෙනවා. දැන් එ් වගේ ක‍්‍රියාවලියක් ක‍්‍රි. පූ තුන්වන ශතවර්ෂයේ ඉඳන් පළමුවෙනි ශතවර්ෂය වෙනකොට ලංකාවෙත් වෙනවා. නැගෙනහිර සහ දකුණු පළාතේ ඇතිවන දේශපාලන එ්කක සහ අනුරාධපුර දේශපාලන එ්කක අතර යම් කිසි ඝට්ටනයක් තිබුණා. ඒ වගේම එ්වා වර්ධනය වෙලා ආක‍්‍රමණයක් ඇති වුණා. වංශකතාවලදි වෙන්නේ මේ රාජ්‍ය තහවුරු වුණායින් පස්සේ කතාවක් හදනවා. එ් කතාවට අනුව රුහුණේ කට්ටිය ඇවිත් කරල තියෙන්නේ ආක‍්‍රමණිකයෙක්ව එළවන එක. අපට වංශකතා කියලා ලැබෙන්නේ මොනවාද? අපට වංශ කතා කියලා ලැබෙන්නේ මේ ස්ථාපිත වෙලා තියෙන පාලක තන්ත‍්‍රයක ඉන්න පාලක ප‍්‍රභූන් තමන්ගේ අතීතය ගැන කරපු self reflection එකක්. එ්ක ස්වයං අවලෝකනයක්, ස්වයං අවලෝකනයකදී අනිවාර්යයෙන්ම කරන්නේ තමන්ව උත්කර්ෂයට නැංවීමක්. දැන් මේ අපි පැටලිලා තියෙන ජංජාලය පදනම් වෙලා තියෙන්නේ මේ උත්කර්ෂයට නංවපු දෘෂ්ටිවාදය උඩ.

ප‍්‍රශ්නය: මේ දක්වා විස්තර කළ දෙය තුලින්, කරුණු දෙකක් මතුකරගන්න පුළුවන්. ඉතිහාසයේ සිදුවීම් කියවන හෝ ලියවිලා තියෙන විධි දෙකක් තියෙන්න පුළුවන්. එකක් සිද්ධිය සිදුවූ ආකාරයටම ලිවීම. මෙයා රජ වුණේ මෙහෙමයි. මේ රජා, මේ රට ආක‍්‍රමණය කලේ මෙහෙමයි කියලා.
එ් වගේම තව විදිහක් තියෙනව. රාජ්‍යත්වය අත්පත් කරගත් අය, තමන් රජ වීම දක්වා වූ කතාන්දරය, සුජාතකරණයට ලක්කරමින් සාධාරණීකරණය කරමින්, අනවශ්‍ය කොටස් ඉවත් කරමින් ගොඩනගන එක. එ්ක එතකොට එම අධිපති උවමනාව, මතවාදය යටතේ ලියන එක. factual කාරණා වලට පවා කතන්දරයක් ගොඩනගන්න පුළුවන්. චිත‍්‍රපටයටත් එහෙම එකක් පදනම් වෙලා තියෙන්න පුළුවන්. මේ factual කාරණා සම්බන්ධයෙන් අපට හොයාගෙන යන්න පුළුවන් කමක් තියෙනවද? නැත්නම් මේවා රාජ්‍ය දෘෂ්ටිවාදය ඔස්සේ නැවත කියවූ එ්වා ලෙස පමණක් තේරුම් ගන්නවද?

නිර්මාල්: ඕව් දැන් අන්තිම කාරණයෙන් පටන් ගන්තොත් – දැන් එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ කරන්නෙ මොකක්ද? ඔහු  කරන්නෙ සෙනරත් පරණවිතාන කරන්න හැදුව වගේ වැඩක්. එ්ක කරන්න පුළුවන් දෙයක්නෙ. තවත් හදපු කතාවක් තියෙනවා. කතාන්දරය වෙනසක් පෙන්වන්න  ඕන නම් එ්ක කරන්නත් පුළුවන්. සමානකම් ඇති කරන්න  ඕන නම් එ්ක කරන්නත් පුළුවන්. එ්වා සාමාන්‍යයෙන් කරන්න පුළුවන්.articulation සඳහා තියෙන possibilities අනන්තයිනෙ. දැන් ඔය codes එහෙම හදනකොට ඉලක්කම් කොච්චර විධිවලට සම්බන්ධ කරන්න පුළුවන්ද? එ් වාගේ මේවත් සම්බන්ධ කරන්න පුළුවන්. ඇත්තටම එ්ක අවශ්‍යයි. දෘෂ්ටිවාදයක් කියන එක නිකම් තියෙන්න බැහැ. දෘෂ්ටිවාදයකට අවශ්‍යයි අල්තුෂර් ම කියනවා වගේ භෞතික පැවැත්මක්. එ්වට ද්‍රව්‍ය අවශ්‍යයි. එ්ක තමයි අර එල්ලාවල මේධානන්ද හාමුදුරුවන් ගිහින් කඳු පර්වත පීර පීර හොයන්නෙ සහ හොයල පෙන්නන්නෙ.

දැන් පළමුවෙනි ප‍්‍රශ්නය ගත්තොත් මම හිතන්නෙ අපට අවශ්‍යයි සත්‍යය සඳහා වූ කැපවීම. මම මේ කියන්නේ, හොඳට මතක තියාගන්න, ‘සත්‍යය’ සොයා ගන්න පුළුවන් කියන එක නෙමෙයි. සත්‍යය කියල එකක් තියෙනවද කියල කියන්න මම දන්නේ නැහැ. නමුත් අපිට සත්‍යය සඳහා කැපවීමක්  ඇතිකරගන්න පුළුවන්. දැන් මහාවංශයේ එන දුටුගැමුණු ගැන කතාව සත්‍යයි කියල ඔප්පු කරගන්න අපට අවශ්‍ය නම් අපට  ඕන තරම් එ්ක කරන්න ක‍්‍රම හොයාගන්න පුළුවන්. අපි එ්  නිසා ප‍්‍රශ්න ඇසිය යුත්තේ එහෙම නෙමෙයි. මේ කතාව බොරු වෙන්න බැරිද කියලයි. මේක  ඕන නම් බොරු වෙන්න possibility එකක් තියෙනවා නේද? සත්‍යය සඳහා අප තුළ ඇති කැපවීම තහවුරු වෙන්නේ අන්න එ් ප‍්‍රශ්න ඇසීම ඇතුළෙන්.  ඕක කාල් පොපර්ගේ වචනයෙන් කියනවනම් අසත්‍යකරණය (falsification).

ප‍්‍රශ්නය:  සත්‍යය සෙවීමයි සත්‍යය සඳහා කැපවීමයි කියන එකේදි, උදාහරණයක් විදිහට සුදර්ශන් සෙනවිරත්න වගේ කෙනෙක් සත්‍යය සෙවීම සඳහා කැපවෙලා තියෙනවා කියලා ගන්න පුළුවන්ද?

නිර්මාල්: දැන් මට පොඩි විවේචනයක් තියෙනවා සුදර්ශන්ගේ ප‍්‍රවේශය ගැන එ්ක තමයි දැනටමත් සත්‍යය දන්නවයි කියන එක එතන ටිකක් තියෙනවා. නමුත් විධික‍්‍රමය සඳහා එයාගේ තියෙන කැපවීම නිසා ඒකට ලොකු බලපෑමක් වෙන්නෙ නැහැ. දැන් එල්ලාවල මේධානන්ද වගේ කෙනෙක් අගවනවා එයා හොඳටම දන්නවා දැනටමත් මොකද වෙලා තියෙන්නේ කියල. එයා යන්නේ එ්ක ඔප්පු කරන්න තොරතුරු සොයන්න විතරයි. science වලදී භාවිතා කරන්නේ hypothesis කියලා එකක්. hypothesis එක අපි පාවිච්චි කරනවා කලින් හදාගත්ත එකක් විධියට. නමුත් එ්ක අන්තිමේදි ප‍්‍රතික්ෂෙප කරන්නත් පුළුවන්, තහවුරු කරන්නත් පුළුවන්,  ඕන එකක් කරන්න පුළුවන් එ්කට. ක‍්‍රියාවලිය තමයි තීරණය කරන්නේ බොරු වෙනවද ඇත්ත වෙනවද කියන එක. විද්‍යාවෙදි අපිට hypothesis එක බොරු වීම බාරගන්න පුළුවන්. අපිට බොරු කරන්න පුළුවන් කියල එ් කියන්නේ hypothesis බොරු වෙයි කියලා අපි බය වෙන්න  ඕන නැහැ. hypothesis කියන එක තියන්නෙ එක්කො බොරු කරන්න නැත්නම් ඇත්ත කරන්න. එ් කියන්නෙ අපිට පැත්තකට දාන්න පුළුවන්. නමුත් දැන් එල්ලාවල මේධානන්ද වගේ කෙනෙක්ගෙ විග‍්‍රහ තුළ කළින් එළඹෙන උපකල්පන බොරු වීම සිදුවෙන්න බැහැ. එයාට වෙන්න තියෙන එකම නිගමනය තමයි කලින් අදහස ඇත්ත කියන එක.

ප‍්‍රශ්නය: එතකොට එයාගේ hypothesis එක ඇත්ත වෙන එක අනිවාර්යයක් !

නිර්මාල්: ඕව්. එ්ක ඇත්ත වෙනවා. එ්කට වඩා වෙන දෙයක් වෙන්න බැහැ. මේක තමයි තියෙන ගැටළුව. සත්‍යය සදහා කැපවීමේ මූලික සුදුසුකම තමයි මා පිළිගන්න දේ අත්හැර දැමීමට මා තුළ තියෙන සූදානම. මම සූදානම්ද මම සත්‍යය කියල හිතන දේත් අසත්‍යයි කියලා ඔප්පු වුණොත් ඒ තත්ත්වය භාර ගන්න. සත්‍යය සඳහා වූ කැපවීම තියෙන්නේ අන්න එතන.

ප‍්‍රශ්නය:  නීතියේ තියෙනවා, යමක් ලියනකොට, අසත් පුරුෂ පුද්ගලයෙක්, අසත් චේතනාවෙන් කියවද්දි පවා, වැරදි විදිහට නොකියවෙන ආකාරයට ලියන්න  ඕන කියල…

නිර්මාල්: ඔව් එ්ක දාර්ශනික ප‍්‍රශ්නයක්.  ඬේවිඞ් හ්‍යුමි ඉදිරිපත් කර තියෙන උද්ගාමි තර්කය පිළිබඳ ගැටළුව (problem of induction)  විසඳීම සඳහා තමයි කාල් පොපර් ඔය අසත්‍යකරණය කියන ක‍්‍රමය යෝජනා කළේ. ඉතින් එ්ක වෙනම සාකච්ජාවක්. දැන් අපි කළින් ප‍්‍රශ්නය ගත්තොත් අපි හිතමු දැන් ගත්තොත්, උතුරු ඉන්දියාවෙන් මිනිස්සු ඇවිල්ලා තියෙනවා කියන එක අපි දන්නවා. ඒ මොකද අපේ ආයතන ගත්තත් ‘රජ ‘ කියන වචනය උතුරු ඉන්දීය සම්භවයක් තියෙන වචනයක්. දැන් රජ කියන වචනය ලතින් භාෂාවේ තියෙනවා ‘රෙජිස්’ කියලා. ඊළගට ‘රික්ස්’ කියලා තියෙනවා – ‘රෙයික්’ කියලා තියෙනවා – ජර්මන් භාෂාවෙන්, එතකොට රජ කියන එකට තියෙන මූලාශ‍්‍රය වගේම තමයි ගමණි, අභය, සිව වගේ නම් වලට ගොඩක් තියෙන්නේ ඉන්දු ආර්ය භාෂා මූලයන්. මෙහෙට ආපු ‘‘ආර්ය’’ කියල අපි කියන ජනකොට්ඨාසය තමයි, මේවා ගෙනවිත් තියෙන්නෙ. බුදුදහමත් එහෙමනේ. එ් වගේම ඊට කළින් ලංකාවේ ජනයා ඉඳලා තියෙනවා. ‘‘බලන්ගොඩ මානවයා’’ කියල කියන්නෙ. දැන් කියනව ‘‘මෙගලිතික්’’ ජනයා කියල. එ් හිටපු ජනයාට මොකද වුණේ? අපට කියන්න තියෙන්නේ මෙච්චරයි, දන්නේ නැහැ. අපිට තියෙනවා මේ දන්නේ නැහැ කියන එක බාරගන්න බැරි කමක්. හැම දේකටම අපිට මොකක් හරි කතාවක් හදා ගන්න  ඕන. ජ්‍යෝතිෂය වගේ එකක දී මුළු ලෝකය ගැනම, හැම කාරණයක් ගැනම මොකක් හරි කතාවක් තියෙනවා. අපි නොදන්න හැම දෙයක්ම අපි දන්න ලෝකයක් ඇතුලේ අර්ථවත් කරනවා. අපි දන්නැති බව පිළිගන්න කැමති නැහැ. ඉතිං කතන්දර හදනවා. දැන් මේකේ යක්ෂ කියලා තියෙනවා, එ්ක ගෝත‍්‍රයක් කියලා කතා හදනවා. ඔන්න බලන්න නලින් ද සිල්වා එයාම කියන යුදෙව් ක‍්‍රිස්තියානි චින්තනයට සම්බන්ධ වන තැන. එයත් පාවිච්චි කරණවා ‘‘යක්ෂ ගෝත‍්‍ර’’ කියන වචනය. මේ ‘‘ගෝත‍්‍රය’’ කියන වචනයේ සංඥකරණය මොකක්ද? යුරෝපීයයා අප‍්‍රිකාවට, ඇමරිකාවට හා පැසිෆික් ප‍්‍රදේශ වලට ගියාම එ් ප‍්‍රදේශවල දැකපු ජන ප‍්‍රජාවන් මානව විද්‍යාවේ විෂය වස්තුවක් බවට පත්කරපුවම එ් අයට දීපු නම තමයි tribe නැතිනම් ගෝත‍්‍රය. සිංහල භාෂාවෙත් ගෝත‍්‍ර කියල වචනයක් තියෙනවා. ‘‘කුල-ගෝත‍්‍රය’’. නමුත් නලින්ට ගැලවෙන්න බෑ එයා අර්ථය ගන්නේ එතනින් කියල. නලින් යක්ෂ-ගෝත‍්‍රය කියල වචනය පාවිචිචි කරමින් ජැක්සන්ව විවේචනය කරනවා එයා යුදෙව් ක‍්‍රිස්තියානි symbols පාවිච්චි කරනවා කියල. උදාහරණයකට වේල් එක. ජැක්සන් කියන්නේ චිත‍්‍රපටිකාරයෙක්. එයා මූලිකව පාවිච්චි කරන්නේ visual images නලින් කියන්නෙ man of letterනෙ. අක්ෂර, භාෂාව, වචන පාවිච්චි කරන කෙනෙක්. ජැක්සන් imagesවලින් ගන්නව යුදෙව් ක‍්‍රිස්තියානි දේවල්. නලින් සංකල්පවලින් එ්කම ගන්නවා. නලින් ජැක්සන්ට යෝජනා කරනවා. ක‍්‍රිස්තු ඉපදෙන්නටත් කළින් එකකට ක‍්‍රිස්තූන්ගේ images අරගෙන කියල. එ් වගේම නලින් ‘‘ගෝත‍්‍ර’’ කියන යුරෝපීයන්ගෙ ‘‘යුදෙව් ක‍්‍රිස්තියානි’’ අදහස දානවා පූර්ව පණ්ඩුකාභය යුගයට. මම කියන්නේ මේ not knowing කියන එක බාරගන්න බැරි නිසා එ් නොදන්න දේ දන්න දේ බවට පත්කරන්න  ඕන. ජැක්සන් විතරක් නෙවී, නලිනුත් එ්වා ගන්නේ යුදෙව් ක‍්‍රිස්තියානි සම්ප‍්‍රදායෙන්. අනික ජැක්සන් දන්නෙ නැහැනෙ එ් කාලේ මිනිසුන් ඇඳපු ඇදුම මොනවද කියල. එයා දන්නේ සහ ගත්තේ එයාගේ history එකෙන් එන ඇඳුම්.

ප‍්‍රශ්නය:  නදීක ගුරුගේ කියලා තිබුණා මම එ් කාලේ තිබුණ සංගීතය මොකක්ද කියලා දන්නේ නැහැ. මම එ්වා ගත්තේ අප‍්‍රිකානු සංගීතයෙන් කියලා.

නිර්මාල්: ඔව්. නදීක අප‍්‍රිකානු ගෝත‍්‍රවලින් සංගීතය හදාරනවා. අප‍්‍රිකානු ගෝත‍්‍රය කියන වචනය එන්නෙත් යුරෝපයෙන්නෙ. එ් වචනමම නලිනුත් පාවිච්චි කරනවා. එ් community හඳුන්වන්න.

ප‍්‍රශ්නය:  අබා එකේ dancing හදපු චන්දන කියන්නෙත් එ් කාලේ නටපු විදිය අපි දන්නේ නැහැ. මිනිස්සු සොබාදහමත් එක්ක ඉන්න කොට ඔය වාගේ වානර ලක්ෂණ තියෙන්න ඇති කියලා හිතපු නිසයි අපි මෙහෙම හැදුවෙ කියල.

නිර්මාල්: ඔව්. අපි දන්න දෙයින් තමයි නොදන්න දේ අර්ථවත් කරන්නෙ. උදාහරණයකට අපි පිටසක්වල ජීවීන්ව අර්ථකථනය කරනකොට අන්තිමට මිනිසුන්ව තමයි අඳින්නේ. අමනුෂ්‍යයින්ගේ හැඩරුව එහෙමයි imagine කරලා හදන්නේ. මනුෂ්‍යයාගෙන් තොරව පිටසක්වල ජීවියා imagine කරන්න අපිට බැහැ.

ප‍්‍රශ්නය:  අපි ඉතිහාසය පැත්තෙන් එහාට ගිහින් බැලූවොත් නලින් ද සිල්වා වගේ කෙනෙක් ඇත්තටම මුදල් සෙවීමේ අරමුණෙන් හෝ එහෙම නැත්නම් ප‍්‍රාග්ධන තර්කයක් තුළ නොවෙයි වැඩ කරන්නෙ. එ් පැත්තෙන් හිතුවොත් සූරිය ගුණසේකර, ගුණදාස අමරසේකර වගේ අයත් එහෙමයි. නමුත් චම්පික රණවකලා සහ එල්ලාවලා මේධානන්ද හාමුදුරුවන් වගේ අය ගත්තහම අපිට පේනවා එ්ක එහෙමම නෙවෙයි කියලා. එතකොට, දැන් සිංහල ජාතිය ගොඩනැඟීමේදී, ගොඩනඟමින් ඉන්න දේවල් ඇතුළේ යටින් මේ කොටසත් තියනවා නේද? උදාහරණයක් ලෙස යුදෙව් චින්තනය කියලා නලින්ලා පහර දෙනකොට එ් චින්තනය වගේම මේ ධනවාදී ලිබරල් ආර්ථික රටාවටත් පහර දෙන බවක් පේන්න තියෙනවා. මේ එක්කම ලිබරල්වාදය අපේ රටේ වැඩකරන්නේ කොහොමද සහ කොහොමද එ්ක ප‍්‍රාග්ධනයේ තර්කයක් බවට පත්වෙලා තියෙන්නේ කියලා මේ මතුවෙලා තියෙන සංවාදයත් එක්ක අපිට  කියවන්න පුළුවන් නේද?

නිර්මාල්: දැන් මෙතන interesting point එකක් තියෙනවා. නලින් අබා චිත‍්‍රපටියට විරුද්ධයි. අර පරණ මාදිලියේ ඉතිහාසඥයෝ ටිකත් එ්කට විරුද්ධයි. හැබැයි විමල් වීරවංශ මේකට පක්ෂයි. මේක හරි අපූරු දෙයක්. දැන් අපි දන්නවා, ඔයත් කිව්ව වගේ, නලින්ගෙ තියෙනවනෙ අවංක ජාතිවාදයක්. මිනිහ ඇත්තටම බටහිරට හොඳටම විරුද්ධයි. දැන් ඔය ‘‘ගෝත‍්‍ර’’ කියන එක ගන්නකොට එයා හිතල මතල ගන්න එකක් නෙමෙයි. එයාට අනිවාර්යයෙන් කේන්ති යනවා ඔය කියන එකට. නමුත්  එයාගේ එතන ideological trap එකක් තියෙනවා. එ්ක හොයන්න ‘80 ගණන් වල නලින් නව සමසමාජ පක්ෂයෙන් කැඩෙන කාලේ බුද්ධිමය වාතාවරණය හොයන්න  ඕන. එ්ක දැන් අපට කරන්න බෑ. නමුත් විමල් වීරවංශගේ මැදිහත් වීම හරි වැදගත්. දැන් විමල් වීරවංශ කියන්නේ ප‍්‍රායෝගික ජාතිවාදියෙක්. එයා JVP එකේ ඉන්න කොට එයාගේ තිබුණනේ anti-capitalist අදහස්. ක‍්‍රමානුකූලව ඒවා අතහැර දමමින් හොඳටම පරිභෝජනවාදියෙක් බවට පත්වෙනවා. එතකොට එයා ගැන අපට කියන්න පුළුවන් පරිභෝජනවාදී ජාතිවාදියෙක් (consumerist-nationalist) මේ කාලෙට හොඳම ජාතිවාදය නලින්ගේ ජාතිවාදය නෙවෙයි. විමල්ගේ ජාතිවාදය. මම දන්න විදියට නලින් පරිභෝජනවාදියෙක් නෙමෙයි. එයා බොහෝම අල්පේච්ඡු විදියට ජීවත් වෙන්නෙ. අඩුම තරමින් මම නලින්ගෙ ගෙදර යන කාලේ වෙනකොට මම දැක්ක නලින්මයි දැනුත් ඉන්නේ. consumarist කෙනෙක් නෙමෙයි නලින්. විමල් වීරවංශ කියන්නේ එහෙම නෙමෙයි. වීමල් වීරවංශ කියන්නේ හොඳම පරිභෝජනවාදියෙක්. පරිභෝජනවාදය ඇතුළේ හොඳටම තමන්ගේ ජීවිතය ස්ථානගත කරගෙන ඉන්න, හොඳට ඇඳුම් අඳින, හොඳම මොබයිල් ෆෝන් පාවිච්ච් කරන, හොඳම තැන්වලින් කොණ්ඩය සකස් කරන කෙනෙක්. එතකොට එ් වගේ කෙනෙක් අබා ‘යුගයේ ප‍්‍රකාශනයක්‘ විදියට දැකීම අතිශයින් තර්කානුකූලයි. දැන් අබා කියලා කියන්නෙත් මේ පරිභෝජනවාදී යුගයට හරියන ජාතිවාදී ප‍්‍රකාශනයක්. එ්ක අපිට කියන්න පුළුවන් Nationalism in the age of Globalization කියලා. මෙහි ජාතිවාදය කියලා කියන්නේ ගෝලීයකරණයට තියෙන විකල්පය නෙවෙයි. ඒක local communities තමන්ගේ අනන්‍යතාව පවත්වාගෙන යන්න හඳාගන්න ආරක්ෂණ යන්ත‍්‍රයක්. එ්ක ඇවිල්ල දැන් ක‍්‍රම හදාගෙන තියෙනවා එ්කට පවතින්න. දැන් විමල් වීරවංශ කියන්නේ අන්න එ් ගෝලීය කරණය හා Local ප‍්‍රජාවන් එකට පැවතීමේ අභිලාෂයේ දේශපාලන ප‍්‍රකාශකයා. ජැක්සන් ඇන්තනී කියන්නේ මෙන්න මේ එකට පැවතීමේ අභිලාෂයේ සිනමා සංස්කෘතික ප‍්‍රකාශකයා.

ප‍්‍රශ්නය:  එතකොට එ්ත් එක්කම අපට බැරිද සම්බන්ධයක් හදන්න එවැනි පැවැත්මක් සඳහා නලින් ද සිල්වා වැනි අව්‍යාජ, නැත්නම් නොකිලිටි සාරයක පැවැත්මක් අවශ්‍ය වන පසුබිම පිළිබදව?

නිර්මාල්: ඔව්. අවශ්‍යයි. එයත් ඉන්න  ඕන. එයා දිවයිනට ලියන්න  ඕන. මට නලින්ගේ මුහුණු දකිනකොට පපුව හෝස් ගාලා යනවා. නලින්ගේ පිහිටෙන් ගිය අය, විශේෂයෙන්ම චම්පික රණවක විශාල ජීප් එකක නැගලා ආරක්ෂකයින් පිරිවරාගෙන ජාතික ඇඳුම් ඇඳගෙන යනකොට, විමල් වීරවංශ තමන්ගේ කොණ්ඩය හොඳම තැන්වළින් හදාගෙන රු 30,000ක් වටින ඇඳුම් ඇඳගෙන එහෙම යනකොට නලින් ද සිල්වා ඉන්න විදිය දැක්කහම ඇත්තටම මගේ පපුව හෝස් ගානව.

ප‍්‍රශ්නය: දැන් නලින් එක වෙලාවකදී කියනවා මාව මිනිස්සු දැනගන්න  ඕන නැහැ. විමල් වීරවංශව මිනිස්සු දන්නවා. විමල් වීරවංශ මාව දන්නවා. එ්ක නිසා මගේ එක තමයි යන්නේ කියලා.

නිර්මාල්: ඔව් නලින්ගේ සාරය තමයි යන්නෙ. නමුත් මේ කාලයේ ඔප්පු වෙලා තියෙනවා නලීන්ගේ සාරයට වඩා විමල් වීරවංශගේ body එක dominant කියලා. එතකොට නලින් හිතනවා සාරය වැදගත් කියලා. හැබැයි නලින් මතක තියාගන්න  ඕන සාරය කියන සංකල්පය යුදෙව් ක‍්‍රිස්තියානි කියල. එ්කට හරියන හින්දු සංකල්පයක් තියෙනවා ආත්මය කියලා. ආත්මය කියන එක යුදෙව් ක‍්‍රිස්තියානි එකට වඩා වෙනස්. නමුත් සාරය කියන එක තමයි ස්ප‍්‍රීතු, sprit කියන්නෙ. මේ දෙකම සමානයි. බෞද්ධ සංකල්පය නම්, මගේ අදහස අනුව, මනස කියන එක තමයි. එතකොට යුදෙව් ක‍්‍රිස්තියානි සාරය, හින්දු ආත්මය එක්ක හැප්පෙන බෞද්ධ සංකල්පය තමයි මනස. හැබැයි නලින් ඉන්නේ එතන නෙමෙයි. යුදෙව් ක‍්‍රිස්තියානි සංකල්පයේ. එ් කියන්නේ සාරය (sprit). එ් නිසා තමයි විමල් වීරවංශගේ බොඩි එක දිහා බලන්නේ නැතුව මගේ සාරය තමයි තියෙන්නේ කියලා එයා හිතන්නෙ. මනස ජයගන්න කෙනෙක් සාරය ගැන ඔච්චර හිතන්නේ නැහැ. මනස ජයගන්න කෙනාට ඔච්චර කේන්ති යන්නේ නැහැ. මනස ජයගන්න කෙනාට ඔච්චර පත්තරවල ලියන්න  ඕනේ නැහැ. දැන් එහෙම ගත්තහම නලින් ගේ උරුමය බෞද්ධ නෙමෙයි. නලින්ගේ උරුමය යුදෙව් ක‍්‍රිස්තියානි. විමල් වීරවංශගේ උරුමය ධනවාදී පරිභෝජනවාදය (capitalist consumerism). වැඬේ තියෙන්නේ යුදෙව් ක‍්‍රිස්තියානි නලින් හරහා එන යුදෙව් ක‍්‍රිස්තියානි සාරයයි, බටහිර අධිරාජ්‍යවාදය හරහා එන ධනවාදී පරිභෝජනවාදයයි එකතු වෙලා දැන් හදලා තියෙනවා හරි අපූරු monster කෙනෙක් මහින්ද රාජපක්ෂ කියලා, දැන් එයාට නලින්ද සිල්වත් support කරනව. විමල් වීරවංශත් support කරනවා. හැබැයි අබා චිත‍්‍රපටිය සම්බන්ධයෙන් මේ දෙන්නා බෙදිලා ඉන්නෙ. හෙගල් විස්වාස කරා පෘසියානු රාජ්‍යය තමයි ජර්මන් සාරයේ මස්තකප‍්‍රාප්තිය කියලා. එ් වගේ මහින්ද රාජපක්ෂ තමයි දැන් මේ සිංහල සාරයේ මස්තකප‍්‍රාප්තිය. දැන් පරම සාක්ෂාත්කරණයට ආවාම සාරය සහ ශරීරය අතර වෙනස නැතිවෙලා යනවා. සියල්ලම සාරය. එ් වගේ දැන් සියල්ලම මහින්දගේ චින්තනය. එතකොට දේශපාලනයක් බවට පත්වෙනවා. ඔය දැන් කියනවා වගෙ සාටක හැම තැනම. පොඩි උනුත් සාටක දාගෙන. මරාසාද් නාට්‍යයේ තියෙනවා ගිලටින් හැම තැනම. පොඩිඋන් ගිලටින් වලින් සෙල්ලම් කරනවා. අන්න එ් වගේ මේකත් හැම තැනම. හැම ආයතනයක් තුළම මේක ප‍්‍රකාශනයට පත්කරනවා. හැමතැනම සාටක. හැමතැනම සාරය.

ප‍්‍රශ්නය: සිනමාත්මක විචාර හරහා, ගම්ලත්ගේ මාක්ස්වාදී ප‍්‍රකාශ හරහා, එහෙම නැත්නම් භාෂණගේ මතවාදයන් හරහා එන අදහස් මේ කියන සැකසුමට විවේචනයක් ගේනවට වඩා මෙය ඇතුලේම සංඝටක බවට පත්වීමකුයි වෙන්නෙ. ඇත්තටම මේ මොකක්ද වෙන්නෙ?

නිර්මාල්: එ්ක තමයි. මම මුලිනුත් කිව්වේ මේක හරිම වැදගත්. මොකද මේක all encomposing phenomenon එකක්. සියල්ල ආවරණය කරගන්නා වූ ප‍්‍රපංචයක්. දැන් ගංවතුර ආවාම හැම තැනම වතුරනෙ. එ් වගේම ගංවතුර බැස්සාමත් එ් හැමතැනම පිරිසිදු කරන්නත්  ඕන. අන්න එ් ආචරණය අබා චිත‍්‍රපටියේ තියෙනවා. කොච්චරද කියනවනම් රාජකීය ආසියාතික සංගමයටත් තියෙනවා. කොහොමහරි වෙලා කව්රුවත් දන්නේ නැති සංගමයකටත් සිද්ධ වෙන්නේ දැන් මේක කතා කරන්න. හැම එකකටම අබා ආචරණය වැළඳෙනව. අබා රෝගය වැළඳෙනව. එ් නිසා අපට පුළුවන් එ්ක ගැන කතා කරන්න.

සාකච්ජා කලේ
සම්පත් ගීතික
මදුවන්ත කුමාර

 

Advertisements
Comments
  1. නිර්මාල් රංජිත් දේවසිරි,මා දුටු ශ්‍රේෂ්ඨම සිංහල චින්තකයා !ප්‍රගීත්ට වඩා ගව්ගානක් ඉදිරියෙන් !

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s