නූර්තියෙන් එහාට නොයන අබාගේ ලෝකය

Posted: February 17, 2011 in ඉතිහාස

අබා’ චිත‍්‍රපටය තිරගතවෙලා දැන් ටික කාලයක් වෙනවා. ඒ පිළිබදව වූ සංවාදයත් දැන් අතීතයට එකතු වූ දෙයක්. නමුත් අපි හිතුවා කල් පසුවී හෝ ඒ සංවාදය සදහා නව මානයක් එකතු කරන්න. අපි දකින විදියට ‘අබා’ චිත‍්‍රපටය තිරගත වෙලා වසර දෙකහමාරකට ආසන්න කාලයක් ගතවී තිබුනත් ‘අබා’ පිළිබදව නැවත කථා කිරීමට හැකි සමකාලීනත්වයක් ඒ තුළ පවතිනවා. ඒ අන් කිසිවක් නිසා නොව පවතින පාලක රෙජීමයේ ආධිපත්‍ය තහවුරු කරගැනීම වෙනුවෙන් ලංකාවේ අතීතය අර්ථකතනය කිරීම තවමත් එහි එක් ප‍්‍රධාන සංඝටකයක් වන නිසයි. ‘අබා’ නිර්මාණය කර තිරගත කිරීම මගින් ලංකාවේ වර්තමාන පාලකයන් බලාපොරොත්තු වූයේද ඒ මගින් තමන්ට රිසි ලෙස අතීතය අර්ථකතනය කිරීම හරහා ඔවුන්ගේ දේශපාලන පැවැත්ම සම්බන්දයෙන් යම් මතවාදීමය සුජාතභාවයක් සිංහල සමාජය තුළ ගොඩනගා ගැනීමයි.

‘අබා’ චිත‍්‍රපටය තිරගත වූ අවදියේදී චිත‍්‍රපටය සහ ඒ සමග ඇතිවූ සංවාදය පිළිබදව අප නිර්මාල් රංජිත් දේවසිරි, සුනිල් විජේසිරිවර්ධන සහ ධර්මසිරි බන්ඩාරනායක යන සහෘදයන් සමග කතාබහක යෙදුනා. මෙතැන් සිට එම කතා බහ අප මෙහි පලකරනවා. මෙවර අප පලකරන්නේ සුනිල් විජේසිරිවර්ධන සහෘදයා සමග කරන ලද කතාබහයි.

 

ප‍්‍රශ්නය – ‘කලාකරුවා සහ කලාව ගැන මතු කෙරෙන පොදු නූතනවාදී ප‍්‍රශ්න සහ අබා’ යන තැනින් අපි සාකච්ජාව ආරම්භ කරමුද?

සුනිල්මගේ අදහසේ හැටියට නූතනවාදී සුසමාදර්ශයේ බරපතල සීමා තියෙනවා. මේක එ් ගැන කතා කරන්නට අවස්ථාවක් නොවේ. එ් නමුත් සෑහෙන තරම් දුරට සංගත සහ විධිමත් මානවවාදී පර්යාවලෝකයක් – එ් සමග බැඳුනු  සමාජ සාධාරණත්වය පිළිබඳ දැක්මක් – නූතනවාදය අපට දුන් බව මම පිළිගන්නවා. මිනිස් සබඳතා මානුෂික කිරීම මේ පර්යාවලෝකයේ මූලික ආධ්‍යාශයක්. එ් විදියට බැලූවම පසුගිය වර්ෂ 200ක් පමණ කාලය තුළ දියුණු නූතනවාදී කලාකරුවා කරල තියෙන්නෙ එ් එ් සංදර්භය තුළ මුණ ගැහෙන විවිධ සමාජ පැලූම් රේඛා, නැත්නම් බෙදුම් රේඛා හරහා ප‍්‍රකාශයට පත්වන මර්දනය, පීඩනය, සූරාකෑම, යටපත්කිරීම, කොන් කිරීම ආදී වශයෙන් වූ ම්ලේච්ඡත්වය නිරාවරණය කිරීම, විග‍්‍රහ කිරීම, වෙනස් කිරීමේ අරගලය සඳහා පන්නරය හා ආශ්වාදය ලබා දීම, වඩා යහපත් මනුෂ්‍ය ජීවිතයක් පිළිබඳව අපේක්‍ෂා සහ සිහින මනුෂ්‍යයා තුළට ඇතුල් කිරීම යනාදියයි. කලා කෘතියක් තුළ කලාකරුවා මේ වැඬේ කරන ආකාරයේ සාර්ථකත්වය, ව්‍යක්තභාවය, සඵලබව අගයන්නට පහසු ක‍්‍රමයක් මා යෝජනා කරන්න කැමතියි; කෘතියක කතිකාමය පාර්ශවය සහ කලාත්මක-තාක්ෂණික පාර්ශවය වශයෙන් දෙවැදෑරුම් විමසුමක් කරන එක.

අබා චිත‍්‍රපටිය කතිකාමය වශයෙන් බොල් දෙයක් විදියටයි මට පේන්නෙ. සමහර විට ජැක්සන්ට සිංහලයා ගැන ඉතිහාසය ගැන තියෙන කතිකාවන්ට මැදිහත් වීමක් කරන්නට  ඕන වෙන්නට ඇති. යමක් කියන්නට හෝ හිතුවා වෙන්න ඇති. නමුත් කලාත්මක හා තාක්ෂණික වශයෙන් අබා චිත‍්‍රපටිය බරපතල ඌණතා සහ මෝඩකම් වලින් ගහණ නිසා එහෙමට මොනවත් කියවෙන්නෙ නැහැ. කියන දෙයක් තියෙනව තමයි. එක තියෙන්නෙ උඩින් එල්ලලා. එහි කතා වින්‍යාසය තුළින්, චරිත පිහිටුවීම තුළින්, අවසානයේ රංගනය තුළින් සහ කැමරාව තුළින් එහෙමට දෙයක් මතුවෙන්නෙ නැහැ. එ් නිසා ‘‘මව්බිම’’, ‘‘වීරත්වය’’ වැනි නිර්මාපකයා විසින් මෙහෙයේ යොදා ගන්නා සංකල්ප තුළින් සංගත කතිකාවක් ගොඩනැගෙන්නෙ නැහැ. කිසියම් හාස්‍යජනක තත්ත්වයකට එ්වා භාජනය වෙනවා.

මට අනුව ජාතිකවාදය හෝ දේශපේ‍්‍රමය කියන සමාජ හැඟීම් වියුක්ත දේවල් නොවේ. එ්වා ගොඩනැගීමට සහභාගි වන බලවේගවල ස්වභාවය අනුව, සංදර්භයට අනුව, එහි කතිකාමය සංරචකවලට අනුව විවිධාකාරයට දිශාගත වූ, විවිධාකාරයට ලෝකය සමඟ සම්බන්ධකම් දක්වන ජාතිකවාදයන් හා දේශපේ‍්‍රමයන් තිබෙන්නට පුළුවන්; පශ්චාත් විජිත යුගයේ අපේ රටේ සිදුවුණා වගේ සමාජ වෛරය, සමාජ ඊර්ෂ්‍යාව, සහ බිය පදනම් කොටගෙනත් දේශපේ‍්‍රමය ගොඩනගන්නටත් පුළුවන්, අනගාරික ධර්මපාලගේ සිට එබඳු ගැටළු සහගත ජාතිකවාදයක මුල් අපිට දැක ගන්නට පුළුවන්. පොදුවේ එය පශ්චාත් විජිත රාජ්‍යය විසින් ජාතිය පිළිබඳව ගොඩනගාගෙන යන කතිකාවක් ලෙසයි දකින්නට පුළුවන්. පශ්චාත් විජිත රාජ්‍යයේ ගැටළුවල කතිකාමය ප‍්‍රක්ෂේපණයක් ලෙසයි මට මේ ජාතිකවාදය පේන්නෙ.

මේ ජාතිකවාදයට සම්පූර්ණ වෙනස් පාරක ගිය ඉන්දියානු ජාතිකවාදී කතිකාවන් ඇසුරේ බිහිවුන ප‍්‍රබල සිනමා පට කිහිපයක්ම පසුගිය කාලයේ අපට මුණ ගැසුනා. උදාහරණයක් විදිහට, අසුතෝෂ් ගොවරිකාරි කියන ඉන්දියානු සිනමාකරුවාගේ ‘ලගාන්’ නැත්නම් ‘ස්වදේශ්’ යන චිත‍්‍රපටිවල ඉතා සංගත ආකාරයෙන් දේශපේ‍්‍රමය පිළිබඳ කතිකාවක් ගොඩනැගෙනවා. එහි ප‍්‍රධාන කතිකාමය ලක්ෂණ අතර මානව පේ‍්‍රමය (කුලභේදයට විරෝධය), සමාජ සාධාරණත්වය, මනුෂ්‍ය ගෞරවය යනාදී දේවල් මෙන්ම නවීන විද්‍යාවට හා තාක්ෂණයට අයිති නවීකාරක මතිමතාන්තරද දකින්නට පුළුවන්. කෙටියෙන් කිව්වොත් ඔහුගේ චිත‍්‍රපටි ඉතා පැහැදිලිව නූතනවාදී මානවවාදී පර්යාලෝකය තුළට හොඳින් ඇතුල් වෙනවා. ඔහුගේම ‘ජෝදා අක්බාර්’ චිත‍්‍රපටිය ඉන්දියාවේ ආගමික ගැටුම් මානවවාදී පර්යාලෝකයකින් ප‍්‍රශ්නයට ලක්කරනව. එ් සියල්ල මැද්දේ ඔහුගේ චිත‍්‍රපට ඉන්දියානුකම ගැන පොදු කතිකාවක්ද ගොඩනගනවා. එය ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, බිය යනාදී සමාජ හැඟීම් මත නොවේ පදනම් වෙන්නේ – එ්වා සවිඥනිකව ධාවනය වන්නෙ එබඳු සමාජ හැඟීම් අභියෝගයට ලක්කරමිනුයි. එ් අර්ථයෙන් මේ චිත‍්‍රපටි පැහැදිලිව ඉහලම ගණයේ නූතනවාදී කලා කෘතීන්.

අබා චිත‍්‍රපටයේ ප‍්‍රබල කතිකාමය ධාවනයක් මොන පැත්තටවත් ගමන් කරන්නෙ නැහැ. එ් අර්ථයෙන් තමයි මම එ්ක බොල් කියල කියන්නෙ. එය ප‍්‍රකාශ කරන්නෙ කතිකාවක් රහිත කතිකාවක්.

ප‍්‍රශ්නය – ඔබ එහෙම කිව්වත්, ඉතිහාසය පිළිබඳ  විචාරාත්මක විවාදයක් අබා නිසා මතු වුණා. එ් වගේම අබා ජනප‍්‍රිය වීමෙන් පේන්නෙ ඉතිහාසය පිළිබඳ ජනප‍්‍රිය කතිකාවකට එය සේවය කරන බව නේද?

සුනිල්එ්ක ඇත්ත, එ් නිරීක්ෂණ සමාජ සංස්කෘතික කතිකාවන්ගේ ගැඹුර හා ස්වභාවය පිළිබඳ ඉතා සංකීර්ණ හා සියුම් ප‍්‍රශ්නයක් මතු කරන්නෙ. ඊට ප‍්‍රමාණවත් ප‍්‍රතිචාරයක් දක්වන්නට මෙය අවස්ථාව නොවේ.

ඔය ප‍්‍රශ්නයට සරලව ප‍්‍රතිචාර දක්වන්න පුළුවන් විදිහක් තමයි ‘‘ළමා සමාජයක් තුළත් ජීවිතය ගැන, සතුට ගැන යම් කතිකාවන් තියෙනව නේද?’’ කියලා අහන එක. මා කියන්නෙ අබා චිත‍්‍රපටය තුළ ඉතිහාසය ගැන, ජීවිතය ගැන තියෙන්නෙ නොමේරු ‘‘ළමා’’ ප‍්‍රක්ෂේපණයක්. ඉතිං මේ චිත‍්‍රපටය ඔබ කියන විදියට ජනප‍්‍රිය වෙනවා නම් එයින් මා හිතන විදිහට කියවෙන්නෙ සිංහල සමාජයේ ළමා ගති ලක්ෂණ ගැනයි.

ප‍්‍රශ්නය – අබා ළමා චිත‍්‍රපටයක් කියල ඔබ කියනව නෙමෙයි නේද?

සුනිල් – කොහෙත්ම නැහැ. ළමයා තුළ මනුෂ්‍යත්වය පිළිබඳ ධාරණාවන් දැල්වීම හොද නූතනවාදී ළමා චිත‍්‍රපටවල මුඛ්‍ය ලක්ෂණයක් නම්, එවැනි ශක්තියක් අබා තුළ මට පෙනෙන්නෙ නැහැ. මම කළින් කිව්ව විදියට එ්ක කරන්න පුළුවන් වෙන්නෙ සමානාත්මතාව, මිනිස් ගෞරවය, මිනිස් ශක්තිය පිළිබඳ විශ්වාසය වැනි දේ ගැන සියුම් ලෙස, දක්ෂ ලෙස – එනම් කලාත්මක ලෙස – කෘතිය ගොඩනැගීමෙන්
මා කියන දේ තවදුරටත් පැහැදිලි කරන්න අපට අබා පිටපතේ සිටම මතු වන ගැටළුවක් දෙකක් එළියට ගන්නට පුළුවන්. ජැක්සන් ඔහුගේ පිටපත මුද්‍රණයෙන් ප‍්‍රකාශ කරමින් කියා හිටිනවා මේ සිනමා පටය ගොඩනගද්දී ඔහු සංස්කෘතික මානවවිද්‍යාත්මක කරුණු ගැන හුඟක් උනන්දු උනා කියලා. ඔහු කියනවා ඔහුට ‘‘නූර්ති යුගයේ වේදිකාවට ආ රජවරුන්ගේ රූපයෙන්’’ ඔබ්බට යන්නට  ඕන වුනා කියලා. නමුත් ඇත්තටම ඔහු උනන්දු වෙලා තියෙන්නෙ නූර්ති නාට්‍ය තුළ බැස්ටියන්, ජෝන් ද සිල්වා රජවරුන්ට අන්දපු ඇඳුම් ගැන විතරයි. ඔහුගේ සංස්කෘතික මානව විද්‍යාව එත නින් එහාට ගිහිල්ලා නැහැ. නූර්ති වේදිකාවේ රජවරු ලෝකය හා ‘‘අනෙකා’’ සමඟ සම්බන්ධතා පැවැත්වූ අයුරු, ඊට සම්බන්ධ හැසිරීම් රටා, භාෂාව ඔහුට විෂය වෙලා නැහැ. ඇත්ත වශයෙන්ම නූර්තිය ගොඩනගන ජාතිකවාදීන් දැනසිටි අවසාන රාජ්‍යය පිළිබඳ තොරතුරු ඔවුන් අතට එන්නෙ ජනප‍්‍රවාද හා සාහිත්‍යය හරහා. එ් කන්ද උඩරට රාජ්‍යය ගැනයි. ඔවුන්ගේ වේදිකාව මත රජු හා යටත් වැසියා නැවත ගොඩ නැගෙන්නෙ පශ්චාත් විජිත රාජ්‍යවාදී කාංසාව තුළයි. (ඔවුන්ගේ ඇඳුම් නම් වැඩිපුර එන්නේ ඉන්දියානු බලිවාලා නාට්‍ය ආශ‍්‍රයෙන්.) ඉතිං ජැක්සන් ඇත්ත වශයෙන් අබා යුගයේ රාජ්‍යය හා සමාජය නැවත ගොඩනගන්නේ නූර්තියේ එකී කතිකාවන් මත සිටගෙනයි.

මේ කතාව සංකීර්ණ වෙන්නේ මෙහෙමයි; මහා වංශය පූර්ව-රාජ්‍ය ඉතිහාසය ප‍්‍රක්ෂේපණය කරන්නේ 5වන සියවසේ අනුරාධපුර රාජධානිය පදනම් කොටගෙන නැගීගෙන එන පාලක කණ්ඩායමේ ඇහින්. එතකොට, පශ්චාත්-විජිත මහාවංශ ඉතිහාසඥයාගේ ඔඩොක්කුවේ නැළවෙන ජැක්සන් ළමයාට පූර්ව-රාජ්‍ය ඉතිහාසය පේන්නෙ නූර්තියේ කණ්ණාඩිය තුළින්.

ප‍්‍රශ්නය – ඔබ ඔය කියන දේ උදාහරණ සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?

සුනිල් – අබා පිටපතේ ගොඩනැගීම තුළ ‘රාජ්‍යය’ පිළිබඳ ප‍්‍රශ්නය එහි අති මූලික සංදර්භය ලෙස තියෙනවා. ක‍්‍රි.පූ 3 වන සියවස වන විට  ලංකාවේ විසූ විවිධ ගෝත‍්‍රික ජනකොටස් අතරින් යක්ෂ ගෝත‍්‍රිකයන් අතේ ලංකා රාජ්‍යය තිබුණ බවත්, එය විදේශික සිංහ වංශිකයින් විසින් පැහැරගත් බවත්, පඬු අබා කුමරු හරහා එය නැවත ස්වදේශික යක්ෂ ගෝත‍්‍රික අතට පත්වීමට නියමිත බවත් එ් වගේම, ලංකා රාජ්‍ය මුල්කරගෙන සිංහ වංශිකයින් බිළිඳු කුමරා මරන්නට කුමන්ත‍්‍රණය කල බවත්, යක්ෂ ගෝත‍්‍රික බලය එ් කුමන්ත‍්‍රණය පරාජය කොට කුමරාගේ ජීවිතය බේරාගත් බවත්, එසේ ගැලවුනු පඬු අබා ‘මව් බිම’ හෙවත් ස්වදේශික උරුමය වෙනුවෙන් සටන් වැදීමට කැපවන බවත් යනාදී වශයෙන් වූ කතන්දරයක් තමයි අබා පිටපත කියන්නෙ. නමුත් ලංකාවේ රාජ්‍ය ඉතිහාසය ගැන මූලික ප‍්‍රශ්නය වෙන්නේ ඔය කියන යුගයේ ලංකා පොළොව මත රාජ්‍යය ලෙස අර්ථ ගැන්විය හැකි ව්‍යූහයක් තවම දක්නට නොලැබීමයි. මාතෘ මූලික ලක්ෂණ ප‍්‍රබලව තිබූ, බොහෝ විට පූර්ව-කෘෂිකාර්මික ගෝත‍්‍රික ජානාවාස අතර, නව ගැමි ජනාවාස හා එ්වා මත බල කණ්ඩායම් කිහිපයකගේ කුඩා බල මධ්‍යස්ථාන යනාදී වශයෙන් දේශපාලනික අර්ථයෙන් විවිධ ආකාරයේ ව්‍යූහයන් විසිරුණු බිමක් විදිහටයි ලංකාව මේ කාලයේ දකින්න පුළුවන් වෙන්නෙ. ඔය යුගයේ ද්‍රව්‍යමය ඉතිහාසය ගැන සෑහෙන දැනීමක් අද රැස්වෙලා තියෙනවා. එ් වගේම මහා වංශය ඇතුලූ සම්භාව්‍ය ඉතිහාස සංහිතා තුළ ඉතිහාසය ගොඩනැංවෙන අයුරු විග‍්‍රහ කරන ඉතිහාසකරණ විද්‍යාවක්ද අද අප සතුව තිබෙනව. මේ දැනුම් පද්ධති ඇසුරේ වර්ධනය වුනු සංස්කෘතික මානව විද්‍යා දැනුම් හා තොරතුරු සම්භාරයක්ද සොයා ගන්නට පුළුවන්. එනමුත් අබා කතුවරයා මේ ඥණ පද්ධතීන් දෙස හොරැහින් හෝ බැලූ බවක් පෙනෙන්නට නැහැ. ඇත්ත වශයෙන් ගෝත‍්‍ර හා වංශ යුගයේ සිට රජ්‍යයේ විකාශය පිළිබඳ කලාපීය මට්ටමේ ඥණ සම්භාරයක් තියෙනවා. රොමිලා තාපර්ගේ From linage to state කියන මූල ග‍්‍රන්ථයේ සිට මේ වන විට අප‍්‍රමාණ ග‍්‍රන්ථ ලිපි ලේඛන රාශියක් ඔය විෂය ගැන විද්වතුන් විසින් ප‍්‍රකාශයට පත්කොට හමාරයි. ලංකාව ගැන විශේෂයෙන් කියනවා නම් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න හා මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන ආදීන් විසින් මුල පුරන ලද නව පුරා විද්‍යා හා ඉතිහාසකරණ විද්‍යා ශාස්ත‍්‍රීය ධාරා දෙකක් පුරාණ රාජ්‍යයේ විකාශය ගැන සෑහෙන තරම් සංගත දැනීමක් රැස්කොට තිබෙනව.

අද අර්ථයෙන් රාජ්‍යය බිහිවීමට කොන්දේසි ගණනාවක් අවශ්‍යයි. ආර්ථික හා දේශපාලනික සාධක කිහිපයක් නැතිව රජ්‍යයක් ගැන හිතන්නට බැහැ. පැරණි රාජ්‍යය තුළ බල ධූරාවලියක් හා රජුගෙන් නියෝජනය වෙන එහි සිරසක් තිබෙනවා. එ් සිරස් බල ව්‍යූහය තහවුරු වෙන්නට නිශ්චිත ආර්ථික පදනමක් අවශ්‍යයි. ලෝකය පුරාම පැරණි රාජ්‍යය ගොඩනැගුනේ කෘෂිකාර්මික නිෂ්පාදන ක‍්‍රමය ව්‍යාප්තවෙලා, තහවුරු වෙලා, යම් අතිරික්ත වටිනාකම් ප‍්‍රමාණයක් බිහි වෙනකොටයි. එ් අතිරික්තය තමයි බදු වශයෙන් මධ්‍ය භාණ්ඩාගරයක් තුළට එකරාශි වෙලා අර බල ව්‍යූහය පවත්ව ගන්නට අවශ්‍ය ද්‍රව්‍යමය පදනම සපයන්නෙ. නමුත් ඔය කියන යුගයේ පූර්ව-කෘෂිකාර්මික ගෝත‍්‍රික සමාජ බහුලව රට තුළ ව්‍යාප්ත වී තිබුණා නම්, ඔවුන් මාතෘ මූලික ලක්ෂණ දරණ සමාජ ජීවිතයක් තුළ සිටියානම්…, සිරස් ධූරාවලීගත පාලන ව්‍යූහ වෙනුවට තිරස් ‘ජන සම්මතවාදී’ පාලන ව්‍යූහ සහිත සරල ආණ්ඩුක‍්‍රම පවත්වාගෙන ගියා නම්… එහෙනම් ස්වදේශිකයෝ බොහෝම වෙනස් මිනිස්සු. ඔවුනගේ මානව සම්බන්ධතාවල ස්වරූප, අපේක්ෂා, සිහින, කොටින්ම ඔවුන්ගේ ජීවිතයම රාජ්‍ය සංදර්භයක් තුළ ජීවත්වන පාලිත යටත් වැසියන්ගේ ජීවිතයට වඩා මුළුමනින් වෙනස් වෙන්න  ඕන. අබා රචකයා ගෙඩි පිටින් අසාර්ථක වන්නේ මෙතනදීයි. එ් එ් චරිත අතර සම්බන්ධය හා ඔවුන්ගේ හැසිරීම් රටා ගොඩනැගීමේදී ඔහු නූර්ති යුගයෙන් ඈතට යන්නෙ නැහැ කියා මා කියන්නේ එ්කයි. දේශපාලන, සමාජ, සංස්කෘතික වශයෙන් ‘විෂමජාතීය’ වූ, එබැවින් විචිත‍්‍ර, එබැවින් සියුම් නාටකීය ගැටුමින් පිරි ලෝකයක් තිබිය යුතු තැන ඔහු දකින්නෙ ඒකමානීය පැතලි එබැවින් අඳුරු ලෝකයක්. එවැනි දේකට කිට්ටු තත්ත්වයක් ඇතිවෙන්නට පුළුවන් හුඟාක් පස්සේ, රටේ සියළුම ජනකාය එකම රාජ්‍යයක වසඟයට පත්වුනා නම් පමණයි. නමුත් ඇත්ත වශයෙන් පැරණි රාජ්‍යයේ ඉහලම වර්ධනය දක්නට ලැබුණු කාලයක පවා පූර්ණ ලෙස සමජාතිය යටත්වැසි සමාජයක්  දක්නට ලැබෙන්නෙ නැහැ. ඉතා මෑතක් වන තුරු, නූතන රාජ්‍යය යටතේත්, උදාහරණයක් ලෙස ලංකාවේ වැදි ජනතාව ජීවත් වුනේ සෑහෙන දුරට රාජ්‍යයේ බලපෑමෙන් නිදහස්ව. එබැවින් ඔවුන් තුළ යටත්වැසි මානසිකත්වයක් හෝ ධූරාවලිගත සමාජයක බොහෝ කල් ජීවත් වීමෙන් මිනිසුන් තුළ ඇතිවෙන සමාජ බෙදීම් හා සම්බන්ධ හැසිරීම් රටා දක්නට ලැබුණේ නැහැ.

උදාහරණයකට අබා චිත‍්‍රපටය තුළ අපට ඉදිරිපත්කරන ‘යක්ෂ සේනාධිපතියා’ වන චිත්තරාජත් ඔහු ඉදිරියට එන හබරා කියන යක්ෂ තරුණයාත් අතර සම්බන්ධය සලකා බලන්න; කෙලින්ම නූර්තියේ එන රජු-යටත්වැසි, පාලක-පාලිත, සේවක-සේව්‍ය යනාදී සම්බන්ධයන් තුළ හැඩගැසුණු රූපයි අපට ඉදිරිපත් වෙන්නෙ. මේ යුගයේ නිදහස් යක්ෂ ගෝත‍්‍රිකයින්ගේ හැසිරීම් රටා කොයි වගේ වෙන්න ඇත්ද? ඔවුන් එකිනෙකාට ආමන්ත‍්‍රණය කළ භාෂාව කොයි වගේ වෙන්න ඇත්ද? අනිත් අතට යක්ෂ සේනාධිපතියෙක් කියන නමේ තේරුම කුමක්ද? සේනාධිපතිවරු බිහි වුණේ හුඟක් පස්සේ. හරියටම කිව්වොත් කාවන්තිස්ස යුගය වන තුරු ස්ථාවර නඩත්තු හමුදාවක් ලංකාවේ තිබුණු කුඩා රාජධානි සතුව තිබූ බවකට ලකුණු නැහැ. ඔහු තමයි ප‍්‍රථම වරට බඩගරික ක‍්‍රමය දියුණු කරලා නඩත්තු හමුදාවක් සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය පදනම නිර්මාණය කරන්නෙ. රුහුණේ බල කණ්ඩායමේ එ් ගමන විසින් තමයි ප‍්‍රථම වරට දුටුගැමුණු විසින් රටේ භූමි ප‍්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් ‘එ්කඡත‍්‍ර’ රාජ්‍යයක් යටතට ගෙනඑන්නෙ. එ් දක්වා ‘ලංකා රාජ්‍යයක්’ අප දන්නා ඉතිහාසය තුළ නම් නැහැ. පූර්ව-රාජ්‍ය සමාජයක් තුළ ගෝත‍්‍රික ජීවිතයේ විචිත‍්‍රත්වය සහ නිදහස, මතු වෙමින් එන රාජධානි හා ධූරාවලිගත ජීවිතයට එරෙහිව සංකර්ෂණාත්මකව තැබුවා නම් ඔය අමුද්‍රව්‍යවලින් ප‍්‍රයෝජනයක් ගන්න තිබුණා.


ප‍්‍රශ්නය – මැන්දිස් රොහණධීරත්, ජැක්සන් ඇන්තනිත් කියනවා එ් අවධියේ තිබුණේ මාතෘ මූලික සමාජයක් කියල. නමුත් නලින් ද සිල්වා තර්ක කරනවා එහෙම නෙවෙයි කියල.

සුනිල්  – කුවේණිය පිළිබඳ පුරාවෘත්තයත්, කලාපයේ මෙබඳු ගෝත‍්‍රික සමාජ පිළිබඳ මානවවිද්‍යාත්මක තොරතුරුත්, පැරණි වැදි ජනතාවගේත් ජීවිතය පිළිබඳ සමාජ හා සංස්කෘතික මානවවිද්‍යාත්මක තොරතුරුත් ඇසුරින් අපට අනුමාන කරන්නට පුළුවන්. පැරණි යක්ෂ ගෝත‍්‍රිකයින්ගේ ජීවිතය මාතෘ මූලික ලක්ෂණවලින් සමන්විත බව. ඉතිං ප‍්‍රශ්නය තියෙන්නෙ අබා පිටපත තුළ එවැනි අදහසක සෙවනැල්ලක්වත් නොපෙනෙන එකයි. එහෙමනම් යක්ෂයින්  අතර රාජ්‍ය සංකල්පයක් හෝ සමාජ ධූරාවලියක් හෝ තිබෙන්නට බැහැනෙ. හොඳයි අපි අනිත් අතට නලින්ගේ අදහසටත් මොහොතකට ඉඩ දෙමු. අපි කියමු මාතෘ මූලික සමාජයක් නොතිබුණයි කියල. එ්ත් එයින් කියවෙන්නෙ නැහැ යක්ෂයින් අතර රාජ්‍යය කියන ව්‍යූහය හා ඊට සම්බන්ධ දැඩි සමාජ ධූරාවලියක් අනිවාර්ටයි කියලා. ඔවුන් අතර නායකත්වය පිළිබඳ තියෙන්නට පුළුවන් අර්ථ සමාජ ධූරාවලිය හා සම්බන්ධ වීම අනිවාර්ය නැහැ. මේ කාලය තුළ ගෝත‍්‍රික සමාජයේ නායකයින් පසු කාලීන රාජ්‍යයේ වගේ නෙමෙයි, උපතින් නායකත්වයට නියම වුනේ නැහැ. ඔවුන් අදාල දක්ෂතා නිසා ප‍්‍රජාව විසින් සාමූහිකව තෝරා ගන්නා අය.

චිත‍්‍රපටයට එරෙහිව නලින්ගෙන් එල්ලවන ප‍්‍රහාරය මහාවංශවාදී, ආර්යවාදී අන්තයකින් එල්ලවන ප‍්‍රහාරයක් ලෙස හඳුන ගන්නට පුළුවන්. එ් වගේම අබා චිත‍්‍රපටයට දැඩි හෙළවාදී අන්තයකිනුත් ප‍්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. එ් නමුත් අවාසනාව නම් අවස්ථාව තිබෙද්දිත් ජැක්සන් එ් අන්තයත් මේ අන්තයත් අතික‍්‍රමණය කරන මානුෂවාදී කතිකාවක් ගොඩනගන්නෙ නැති එකයි. පණ්ඩුකාභය ස්වදේශික විවිධ ගෝත‍්‍රිකයින් හා ඉන්දියාවෙන් පැමිණි සිංහ වංශිකයන් අතර පාලමක් සංකේතවත් කළා නම් එය රසවත් අදහසක් වෙන්න තිබුණා. ඔහු යමක් කියන්නට උත්සාහ කරනව. එ්ත් ඔහු එ් වැඬේට බහින්නෙ පරණ රේඛීය කතන්දර ක‍්‍රමයට. පණ්ඩුකාභය ඔහුට ජීවවිද්‍යාත්මක මුහුන්බව පිළිබඳ සංකේතයක් පමණයි. පත්තරවල සැරට විවාදයට ලක් වූ ලේ ධාතුව පිළිබඳ ප‍්‍රශ්නයෙන් එහාට අබා යන්නෙ නැහැ. චිත්තරාජ හරහා ආවත් නැත්නම් යක්ෂ මවකගේ කුසෙන් ආවා කියලා ප‍්‍රවාද ගත කෙරෙන දීඝගාමිණී හරහා ආවත් සරල කතාවක්නෙ ඔය කියන්නෙ. සංස්කෘතික-මානවවිද්‍යාත්මක, සමාජ-මානවවිද්‍යාත්මක මුහුන් භාවය පිළිබඳ සංකේතයක් ලෙස අබා සොයාගෙන ගියා නම් ‘ළමා’ නොවන කෘතියක් ගොඩනගන්නට තිබුණා.

තවත් උදාහරණයක් ගමු. යක්ෂ ගෝත‍්‍රිකයින් අතරේ ජීවත් වෙන දීඝගාමිණි හා ඔහුගේ සහචරයින් දිගාමඩුල්ලේ ඉදලා පඬුවස්නුවරට එනකොට අපට පෙනෙන්නේ නැහැ ඔවුන්ගේ හැසිරීම්වල, වටිනාකම්වල කිසි වෙනසක්. එයා වෙනස් වුණා නම් තමයි සංකර්ෂණයක් තියෙන්නෙ. මේ සම්බන්ධතා රේඛීයයි, සරළයි එ්වා ප‍්‍රක්ෂේපණය වන්නේ රාජ්‍ය ධූරාවලියේ ඇහෙන්. රාජ්‍යය ගොඩනගන සිංහ වංශකයින් අතර පවා සබඳතා එකම සරළ ධූරාවලියකට යටත්. උදාහරණයක් ලෙස පඬුවස් නුවර පඬුවස්දෙව් රජ ඉදිරියේ නේමිත්තකයන් හැසිරෙන්නෙ ප‍්‍රභූන්ගේ සේවකයින් විදිහට. එහෙම වෙන්න බෑනෙ. ඔවුන් බ‍්‍රාහ්මණ වංශිකයින් විය යුතුයි. බ‍්‍රාහ්මණයෝ ක්‍ෂත‍්‍රියයන්ගෙ ත්‍ස්වකයෝ නෙමෙයි. එතන තියෙන්නෙ වෙන ධූරාවලියක්. එ් වගේම තමයි යක්ෂ ගෝත‍්‍රික යකැදුරෙක් අංජකයා නම්න් අපට පෙන්වනවා. මේ අය ගෝත‍්‍රික සමාජයේ විශේෂ බලයක් සහිත ස්ථරයක්. එ් ගොල්ලො කාගෙවත් සේවකයෝ නෙමෙයි. ඔය විදියට බලාගෙන යනකොට අබා චිත‍්‍රපටයේ මානව සම්බන්ධතා නූර්තියෙන් ඔබ්බට යන්නෙ නැහැ කියා මා කියන කාරණය පැහැදිලි වෙන්නට  ඕන.

සටහන
නෙවිල් වීරසිංහ

Advertisements
Comments
  1. Welvidhane says:

    අබාගෙන් පස්සේ හරි හමන් චිත්රපටියක් වත් ඇවිල්ල නැති වෙලාවක, තාමත් අබාට බනින්නේ ඇත්තටම අබා නිවැරදි කරන්නද, නැතිනම් ලාංකිකත්වයට ආමන්ත්‍රණය කිරීම කියන මහා පවට ජැක්සන් කර ගහල කියල හිතාගෙනද කියන ප්‍රශ්නය ඇතිවෙනවා. මෙම ආකල්ප නිසාමද කොහෙද අපිට තම රටේ හතර මායිම ගෙන අඳුනගන්න බැරිවෙලා තියෙනවා. මෙම මානසිකත්වය අපහු ඔලුව ඉස්සුවොත් නම් ආයෙම අපිට රට දෙකට බෙදිලා තියෙනවා බලන්න පුළුවන් වේවි. ලෝකේ හැම රටක්ම තමන්ගේ ඉතිහාසය ගැන කතා කරනකොට, ලාංකිකයන්ට විතරක් එක තහනම් වචනයක් කරන්න හෙඩිම ගැන නැවත හිතන්න වේවි. අනිත් අතට මේ මිනිස්සු ඇත්තටම දෙමල දුප්පතාගේ ප්‍රශ්න කතා කරනවද කියලත් හිතෙනවා. මේ සංකල්ප වලින් රට තවත් බෙදන්න හදනවා වෙනුවට ඔක්කොම රටට ආදරය කරන්න ඉගැන්නුවා යුථුඉ කියලයි මටනම් හිතෙන්නේ. ජැක්සන් අබා දෙවෙනි කොටසත් හදිය යුතුයි. යාපනයේ ශේූෂ්ඨ සාහිත්‍ය ගැනත් කතා කල යුතුයි. කඳුකරයේ පිඩිත දෙමල ජනය ගෙනත් සිතිය යුතුයි. ඔවුන් අප සියල්ලන්ම එකම ශ්‍රී ලංකික කුලකය තුල සිට මේ රට ඉදිරියට ගෙන ආයුතුයි.
    (ජැක්සන් මම දන්නා තරමට කලින්ම කියල තියෙනවා, අබා කියන්නේ ඉතිහාසය පිලිබඳ නිබන්දනයක් නෙමෙයි කියල. අනිත් විහිලුව තමයි ගෝත්‍ර වාදයට විරුද්ද වෙනගමන් ජැක්සන්ගේ ගෝත්‍රය ගැන කතා කිරීම)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s