නිත්තෑවෝ කවරහු ද?

Posted: April 20, 2011 in ඉතිහාස

මෙහි අකුරු පැහැදිලි මදි නම් අපගේ Blogspot වෙබ් අඩවියට පිවිසෙන්න>>http://novembermovement2005.blogspot.com

පලවු(Palau) ශාන්තිකර දූපත්වලදී පුද්ගලයන් විශාල ප‍්‍රමාණයකට අයත් මානව අස්ථි දහස් ගණනක් සොයා ගත් බව නැෂනල් ජියෝග‍්‍රැෆ‍්‍රික් වෙබ් අඩවිය 2008 මාර්තු මසදී වාර්තා කළේය. මේ අයුරින් සොයා ගත් අස්ථි පරික්‍ෂා කළ විද්‍යාඥයන් තව දුරටත් ප‍්‍රකාශ කළේ එවා ඉතා පැරණි බවත්, එම දූපත් වාසීන් විශේෂ වශයෙන් කුඩා ප‍්‍රමාණයේ දේහයන්ට හිමිකම් කියන්නට ඇති බවත්ය. තවද, මෙම අස්ථි කැබලි වසර 900 සිට 2900 දක්වා පැරණි බවත්, මානව පරිණාමයේ හෝමෝ සේපියන්ස් විශේෂයට එ්වා අයත් බවත්, මේ පිළිබඳ පර්යේෂණ පති‍්‍රකාවක සඳහන් වී ඇත. තව දුරටත් කරුණු දක්වන නැෂනල් ජියෝග‍්‍රැෆ‍්‍රික් වෙබ් අඩවිය, මෙම පැරණිම අස්ථීන් ඉතා කුඩා බවත්, එ්වායේ පෙන්නුම් කරන ඇතැම් ගති ලක්‍ෂණ ආදිකල්පික නොහොත් පෞරාණික බවත් කියා සිටියි. 

මෙම අස්ථි කොටස් ප‍්‍රථම වරට හමු වූයේ 2006දී පිලිපීනයෙන් කිලෝමීටර් 600ක් පමණ වන්නට නැගෙනහිර දිශාවෙන් පිහිටි කඳුකර ශිඛරමය දූපත් සමූහයක පිහිටි ගල් ගුහා දෙකක් ආශි‍්‍රතවය. එම අස්ථි පළමු වරට සොයා ගැනීමේදී එ්වා මෙම ගුහා තුළ සුන්බුන් මෙන් තැනින් තැන විසිර තිබිණි. එ්වා මුහුදු රළ නිසා ඇති වූ කැලඹීම්වලින් ගසාගෙන ගොස් තැනින් තැන තැන්පත් කර තිබුණේය. ඉන් සමහර අස්ථි කැබලි ගුහාව පතුලෙහි වැලි බිමෙහි ගැඹුරින් වැළලී තැන්පත්ව තිබු අතර, හිස් කබල්  කිහිපයක් ගුහාවේ බිත්තිවල බදාමයකින් මෙන් තදින් ඇලී තිබුණ බවත් වෙබ් අඩවිය තව දුරටත් කියා සිටී.

මෙම ලෙන් ආශි‍්‍රත කැනීම් කටයුතු නැෂනල් ජියෝග‍්‍රැෆ‍්‍රික් සංගමය විසින් පසුව සිදු කරන ලදී. ඉන් පසුව මෙම කැනීම් අලලා පල කරන ලද විද්‍යාත්මක පති‍්‍රකාවක සඳහන් වූයේ ඔවුන් සොයා ගත් දෑ හා ශරීර ප‍්‍රමාණයෙන් කුඩා මිනිස් ජීවින් පිරිසක් පිළිබඳ විස්තරයකි. මෙසේ සොයා ගත් අස්ථි කැබලි මගින් නිරූපණය කරන ලද්දේ සෙන්ටිමීටර් 94 – 120 පමණ උස් වූ හා කිලෝ 32- 41 පමණ ශරීර ස්කන්ධයක් සහිත මිනිසුන් පිරිසකි. ‘හොබිට්’ ලෙසින් නම් කරන ලද මෙවන් මිනිසුන් පිරිසකගේ  අවශේෂයන් ඉන්දුනීසියානු දූපත් පෙළක් වන ෆ්ලෝරස් ආශ‍්‍රයෙන් 2003 වසරේදී, මෙම සංගමයෙන් ලද මූල්‍ය සහ අනිකුත් අනුග‍්‍රහ යටතේ, සොයා ගන්නා ලදී. මානව විද්‍යාඥයන් විසින් මෙම හොබිට්වරු වෙනත් මානව විශේෂයක්, එනම්, හෝමෝ ෆ්ලොරෙසියෙන්සිස් (Homo floresiensis) ලෙසින් වර්ගීකරණය කරන ලදී. කෙසේ වෙතත්, මස්තිශ්කයේ ප‍්‍රමාණය, මුහුණේ හා අස්ථිවල ප‍්‍රමාණයන් ආදිය සැලකීමෙන් පලාවු අස්ථිවලට හිමිකම් කියන ජීවින් Homo sapiens sapiens විශේෂය යටතේ වර්ගීකරණය කළ යුතු බවට යෝජනා වී ඇත.    
මෙම කුඩා ප‍්‍රමාණයේ සිරුරු හිමි ජීවින් වෙනත් ජීවි විශේෂයක් ලෙසින් වර්ගීකරණය කළ යුතුද යන්න පිළිබඳව පවතින වාද විවාදයන් තවමත් නිමා වී නැත. කෙසේ වෙතත්, ගිනිකොණදිග ආසියාවේ මෙවන් කුඩා සිරුරින් යුත් ජනගහණයන් සිටින බව හොදින් දන්නා කාරණයකි. වර්තමානයේදී ෆ්ලෝර්ස් හොබිට් ප‍්‍රදේශයේදී හමු වූ ආකාරයේ මානවයන්ට සමාන ජන ප‍්‍රජාවක් ආසන්න රම්පපාසා ගමෙහි ජීවත් වෙති.

අප වර්තමානයේදී හොදින්ම දන්නා පිග්මි ජන ප‍්‍රජාවන් වන අකා, එෆේ, හා ම්බුටි ආදින් ජීවත් වනුයේ මධ්‍යම අෆි‍්‍රකාවේය. එසේ ම තායිලන්තය, ඉන්දුනීසියාව, පිලිපයින් දුපත්, පැපුවා නිව් ගිනියාව, බ‍්‍රසීලය හා බොලීවියාව යන රටවලද පිග්මිවරු ජීවත් වෙති. නෙග්රිටෝවරු ගිනිකොණදිග ආසියාවේ මුල් පදිංචිකරුවෝ වූහ. ජාත්‍යන්තර විශ්ව කෝෂයට අනුව පිග්මිවරයකුගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර 150ක් පමණ වේ. පිග්මි යන පදය කුරු මිනිස් ප‍්‍රජාවන් හා ආශ්‍රේය වදනක් වන අතර එය ගී‍්‍රක් බසින් Pygmaioi හා ලතින් බසින් Pygmaei ලෙසින් යෙදේ. මින් අර්ථ ගැන්වූයේ මානව අතේ වැලමිටෙහි සිට ඇඟිලි පුරුක් ඇට දක්වා ඇති දිග මනින මිම්මකි.

නෙග්රිටෝ ලෙසින් අර්ථ ගැන්වූයේ ස්පාඤ්ඤ බසින් ‘කුඩා කළු (එකා)’යන්නය. ගිනිකොණදිග ආසියාවට පැමිණි මුල් දේශ ගවේශකයන් විසින් මෙම වදන භාවිතා කර ඇත. පිලිපීනයේ බතාක් හා ඇටා (Aeta), අන්දමන් දූපත් ආශි‍්‍රතව වාසය කරන අන්දමනීස්වරු, මලයා අර්ධද්වීපයේ සෙමැංවරු ආදිහු මෙම නෙග්රිටෝ කුලකයට අයත් වෙති. ශාන්තිකර සාගරයට අයත් කලාපීය අනිකුත් රටවල ජීවත් වන පැපුවන්වරු හා මෙලනීසියන්වරු මෙම පිග්මි ජන කොටසට අයත් වෙතැයි නිතරම පවසනු ලබයි. අෆි‍්‍රකානු පිග්මි ජනගහණයට අයත් වන අයවලූන් විසින් දරනු ලබන ඇතැම් ශාරීරික ලක්‍ෂණයන් මෙම නෙග්රිටෝවරුන් හට පොදු වෙයි. ප‍්‍රමාණයෙන් කුඩා වූ ශරීරයන් හා කළු පැහැ සමෙහි වර්ණය ඉන් ප‍්‍රධාන වෙති.  එතකුදු වුවත්, ඔවුන්ගේ සම්භවය හා ආසියාව දක්වා ඔවුන්ගේ සංක‍්‍රමණය පිළිබඳව ඇති තොරතුරු තව දුරටත් ගවේශනයට ඉතිරි ව තිබේ. නෙග්රිටෝවරුන්ගේ ජානමය ලක්‍ෂණ පරික්‍ෂා කර බැලූ විට ඔවුන් අෆි‍්‍රකානුවන්ගේ වෙනස් බවට හැඳිනගෙන ඇති අතර මුල් කාලීන ආසියානුවන්ගෙන්ද ඔවුහු වෙනස් වෙති. මෙම ප‍්‍රස්තුතයෙන් යෝජනා වනුයේ එක්කෝ, මෙම නෙග්රිටෝවරු වනාහි මුල් කාලීනව අෆි‍්‍රකාවෙන් පිටත්වූ සංක‍්‍රමණිකයන්ගෙන් පැවත එන මුල් පදිංචිකරුවන්ගේ නූතන පරපුරක් හෝ නූතන මිනිස් පරපුරකගේ මුල් ජන ප‍්‍රජාවකගෙන් පැවත එන බව ය. අෆි‍්‍රකානුවන්ට ඔවුන් දක්වන සමානබව පිළිබඳව සාමාන්‍යයෙන් පිළිගත් මතය වනුයේ එය එකම සම්භවයක් නිසා ඇති වූවක් නොව එම දෙපිරිසම එකම බාහිර තත්වයනට මුහුණ දීම නිසා ඇති කර ගත් අනුවර්තනයක් නිසා එය සිදු වූ බවයි.

මේ සියලූ විස්තරයන් මෙසේ පෙළගස්වනුයේ නූතන මිනිසාට සමාන ලක්‍ෂණවලින් සිටියා වූ ද, ප‍්‍රමාණයෙන් කුඩා සිරුරුවලට හිමිකම් කී බවට සාධක ඇත්තා වූ ද ශී‍්‍ර ලංකාවේ නිත්තෑවන් පිළිබඳ සංවාදයකට එ්ම පිණිසයි.

නිත්තෑවන් පිළිබඳ යම් පරිකල්පනයක් ‘අබා‘ චිත‍්‍රපටයෙහිද තිබේ.

1886 දී ශී‍්‍ර ලංකාවේ නිත්තෑවන් පිළිබඳව හියු නෙවිල් විසින් මෙම පරාවෘත්තමය ජනවර්ගය පිළිබඳව වැද්දන්ගෙන් තොරතුරු ලබාගෙන ඉතා සිත් ගන්නාසුළු වාර්තාවක් (The Nittaewo of Ceylon  – The Taprobanian,1886) නමින් ඉදිරිපත් කරයි.  මෙම ජන කොටසේ අනන්‍යතාව පිළිබඳව තියුණු මතභේදයන් පවතී. මෙහිදී ඇතැමුන් විශ්වාස කරනුයේ නිත්තෑවෝ වනාහී නෙග්රිටෝවරුන්ගේ අවශේෂව ගිය ගෝත‍්‍රයක් බවටය. එසේ ම අනෙකුත් අයවලූන් කියා සිටිනුයේ නිත්තෑවන් වූකලී වානර මානවයෙකු බවයි. එතකදු වුවත් ඇතැම්හු මෙම නිත්තෑවුන් රාහු වලසා යනුවෙන් හඳුන්වනු ලැබු වලසකුට සමාන සදහටම වඳවී ගිය විශේෂයක් ලෙසින් සලකති.

නිත්තෑවුන් වනාහි යාල නැගෙනහිර අතරමැදි කලාපය හා තමන්කඩුව ප‍්‍රදේශය අතරතුර පිහිටා ඇති මහලේනම ආශි‍්‍රතව ජීවත් වූ මිනිස් කොට්ඨාසයක් බව කියනු ලැබේ. මින් වසර 250කට පමණ පෙර වැද්දන් විසින් සහමුලින්ම ඝාතනය කොට ඉවත් කරනු ලැබු සෙයක් මෙයින් විශ්වාස කෙරෙයි. වැද්දන්ගෙන් ලබා ගත් තොරතුරු ඇසුරින් හියු නෙවිල් තම කෘතියේ සඳහන් කරනුයේ, “නිත්තෑවෝ වනාහී ක‍්‍රෑර සහ වනචාරී ගති පැවතුම් සහිත වූ සහ ලේනම ආශි‍්‍රතව කුඩා ප‍්‍රජාවන්ගෙන් යුක්තව ජීවත් වූ කළු පැහැ සමකින් යුක්ත මනුෂ්‍ය කොට්ඨාසයක්” බවය.

ගස් මත සකස් කරන ලද වේදිකා මත, කොල අතුවලින් සෙවිලි කරගත් නිවාසවල ඔවුහු ජීවත් වූහ. ඔවුනට වැදි, සිංහල හෝ දෙමළ බස කථා කිරීමට නොහැකි විය. ඔවුන්ගේ බස වඩාත් සමීප ව තිබුනේ කතරගම වෙත වන්දනාවේ එන වන්දනා කරුවන්ගෙන් ඇතමුන් භාවිතා කළ තෙලිඟු බසටය. තම සීමාව ආක‍්‍රමණය කරන වැද්දන්ට ඔවුන් පහර දෙන හෙයින් සෑම වැද්දකුම දඩයමට හෝ පැණි එකතු කිරීමට නිත්තෑවන්ගේ සීමාවට ඇතුල්වීමට බිය වූහ. හියූ නෙවිල් හට මෙම තොරතුරු සැපයීමට ඉදිරිපත් වූවන්ගේ මුතුන් මිත්තන් විසින් නිත්තෑවුන් සමඟ සටන් කොට අවසානයේදී ඉතිරි වූ නිත්තෑවුන්ගේ ගැහැණුන්, මිනිසුන් හා ළමයින් ගුහාවක් තුළ සිර කර දින තුනක් පුරා දර අවුලූවා වනසා දැමුවේලූ.  ඉන් අනතුරුව, නිත්තෑවුන් වඳව ගිය අතර ඔවුන්ගේ දඩයම් බිම් වැද්දන් විසින් අත්පත් කර ගන්නා ලදී.

ෆ්‍රෙඞ්රික් ලූවිස් සිලෝන් රාජකීය ආසියාතික සංගමයේ 1914 වසරේ වාර ප‍්‍රකාශනයේ නැගෙනහිර ඌව හා දකුණු පානම්පත්තුව අශි‍්‍රත ව කළ ගවේශණයක සටහන් ඇසුරින් වැදි සිරිත් විරිත් පිළිබඳව වාර්තා කරමින් කියා සිටිනුයේ, නිත්තෑවන් වනාහි අඩි තුනක් පමණ උස ජන කොටසක් බවයි.  ඔවුන්ගේ ස්තී‍්‍රන් පිරිමින්ට වඩා උසින් අඩු වූහ.  ඔවුන් සෘජු කය විලාසයක් සහිතව ඇවිද ගිය, වලිග රහිත හා සම්පූර්ණයෙන්ම නිරුවත්ව දිවි ගෙවු ජන කොටසක් ලෙසින් ජීවත්ව ඇත. ඔවුන්ගේ බාහු කෙටි වූ අතර ඇඟිලි අද්දර පිහිටි නිය පක්‍ෂි නිය මෙන් ශක්තිමත්ව පිහිටා තිබුණි. ඔවුන් ගස් මත, ගුහා තුළ හා පාෂාණ පැලූම් ආශි‍්‍රතව දිවි ගෙවා ඇති අතර ඔවුන්ගේ භෝජනය සකස් වී තිබුණේ ඔවුන් විසින් දඩයම් කරගත් හාවුන්, ලේනුන් හා ඉබ්බන්ගෙනි. ඔවුන් 10 සිට 20 පමණ වූ කුඩා කණ්ඩායම්වලින් සමන්විත ව තිබු රංචු තුළ ජීවත් වූ අතර ඔවුන්ගේ කතාබහ කුරුල්ලන්ගේ හඬකට සමානව පැවතුනි. නිත්තෑවන් ජීවත් වූයේ ඊට පරම්පරා දෙකකට පෙර වූ අතර, නිත්තෑවුන් ලෙසින් ඇත්තටම ජීවි පිරිසක් ජීවත්ව සිටියේ නම්, ඔවුන් සහමුලින්ම වඳව යාමට පෙර දහඅටවන සියවසෙහි අවසාන භාගය දක්වා ම ඔවුන් ජීවත්ව සිටින්නට ඇත.

 නිත්තෑවුන් පිළිබඳව වන මෙම පුරාවෘත්තය විස්තර කිරිමෙහිලා න්‍යායයන් බොහොමයක් ගෙනහැර දක්වා ඇත. නිදසුනක් ලෙසින් හියු නෙවිල් විශ්වාස කරනුයේ මෙකී ජනවර්ගය රැහෙන් පන්නනු ලැබු, වහලකු හට පවා ස්පර්ශ කිරීමට හෝ සිත් නොදෙන අතිශය අපිරිසිදු, නීච ජන වර්ගයක් වන කොචින්හි නියදිවරුන් හට යම් නෑ සබඳතාවයක් දක්වන බවටය. නියදිවරුන්ව විස්තර වනුයේ කුඩා රංචු වශයෙන් නිදැල්ලේ ඇවිදින හා රූස්ස ගස් මත තැනු තුරුලූ කැදලි හෝ පැස් (basket) බඳු නිවාස තුළ ජීවත් වන ජන කොටස් වශයෙනි. ඔවුන් ඉබ්බන් හා කිඹුලන් ආහාරයට ගෙන ඇති අතර වසරකට වරක් කුකුලකු බිලි පූජාවට ලක් කර දේවතාවියකට වැඳුම් පිඳුම් කළ බවද සඳහන්ය. නිත්තෑවුන්ගේ ආහාර පරිභෝජන රටාව, වෘක්‍ෂ මත ඔවුන් ගත කරන ජීවිතය හා ඉබාගාතේ යන ජීවන රටාව මුලික වශයෙන් සලකා බලා නිත්තෑවුන්ව නියදිවරුන් සමඟින් සම්බන්ධ කිරීමට නෙවිල් කරුණු ඉදිරිපත් කළේය. ඔවුන්ගේ සම්භවයට අනුකූලව ඔහු විසින් යෝජනා කර සිටිනුයේ නිත්තෑවුන් වනාහි විනාශයෙන් හෝ සංක‍්‍රමණයෙන් පසු ඉතිරි වූ සිංහල ලම්බකර්ණ වංශිකයන්ගෙන් පැවතෙන්නන් බවයි. කෙසේ වෙතත්, නෙවිල්ගේ මෙම කල්පිතය වඩාත් විතර්කීය වන බැවින් එය ශාස්තී‍්‍රය ගුරුකුලයන් තුළ එතරම්ම පිළිගැනීමකට ලක් ව නොමැත.

මානව විද්‍යාඥ ඔස්මන් හිල් විසින් නිත්තෑවුන් පිළිබඳ තම න්‍යායය 1945 දී පළ කළ ‘නිත්තෑවෝ – ලංකාවේ නොවිසඳු ගැටළුවක්’ ලෙසින් ඉදිරිපත් කර ඇත. එහිදී එම න්‍යාය මගින් ඔහු සාකච්ජා කරනුයේ නිත්තෑවුන් වනාහි ජාවා මිනිසා හෝ පිතෙකැන්ත්‍රෝපස් මානවයාගෙන් වෙන්වු වෙනත් ජීවි විශේෂයක් බවය. ඔහු විශ්වාස කරනුයේ මෙම හුදකලා වානර මානව විශේෂය, මෙවන් අනිකුත් හුදෙකලා වූ ජිවී විශේෂවල බොහෝ විට සිදු වන්නාක් මෙන්, පිග්මි ජන කොටසක් ලෙස වර්ධනය වූ බවටය. කපිතාන් එ්. ටී. රඹුක්වැල්ල, ‘නිත්තෑවෝ – ලංකාවේ පුරාවෘත්තමය පිග්මිවරු,’ මැයෙන් යුතුව 1963 දී ලංකාවේ රාජකීය ආසියාතික සංගමයේ පුවත් කලඹෙහි ලිපියක් පළ කරමින් මෙම වානර – මානව න්‍යාය ශක්තිමත් කරයි. එසේම, නිත්තෑවන් වනාහි දකුණු අෆි‍්‍රකාවේදී ශේෂයන් හමුවූ, ආසියාවේ නැගෙනහිර පෙදෙසටද පැතිර ගියේ යයි සැලකෙන ඔස්ට‍්‍රලෝපිතකස් මානව විශේෂයට අයත් ජීවි විශේෂයක් බවට ඔහු විශ්වාස කරයි. මෙම මානව විශේෂය සාමාන්‍යයෙන් හඳුනා ගැනෙනුයේ සිරුරින් කුඩා, මිනිස් වානරයන්ගේ පෙනුමැති, සෘජු කය විලාසයකට හිමි කම් කියන, දෙපා සංචරණයට හුරු වුවන් ලෙසිනි.

ඔවුන්ගේ දන්ත වින්‍යාසය මානව දන්ත විනාසයට බෙහෙවින්ම අනුරූප වන අතර නූතන මානවයාගේ මෙන් හිස් කබල ආශි‍්‍රතව කපාල නෙරුම් දක්නට නොලැබීම ඔවුන්ගේ ලක්ෂණයකි. මෙම විශේෂයට අයත් ජීවින් තව දුරටත් විස්තර කරනුයේ ඔවුන් වනාහි ගුහා ආශි‍්‍රත ජීවිතයක් ගත කරන, තැනිතලා භූමීවල සංචරණය කරන, කුරුලූ කැදලි අවුස්සන සහ අස්ථි පලා මිදුළු අනුභව කරන, සතුරා පසු පස එලවීමේදී තියුණු හා විනාශකාරී ආයුධ දරන වානරයකු ලෙසට ය. ඔවුන්ගේ මාංශ ආහාර සඳහා ඉබ්බන්, කටුස්සන්, කකුළුවන් හා කුරුලූ බිත්තර නිබඳව යොදා ගෙන තිබුණි. මේ අනුව කපිතාන් රඹුක්වැල්ල කියා සිටිනුයේ, “එවකට ආසියාව සහ අෆ‍්‍රිකාව පුරා සැරිසැරූ මෙම මානව වානරයන් මුල් මානවයා සමග සමාන්තරව, සුරැකුම සඳහා තරග වදිමින් පරිණාමය වූ බවයි. මෙම තරගයේදී පලවා හරින ලද ඔවුහු මහාද්වීපයේ පරිවාර ප‍්‍රදේශවලට තල්ලූ වී ගියහ.”

මෙකී  ඔස්ටෙ‍්‍රලෝපිතකස් මානවයන්ට ඥති සබඳතා දක්වන වෙනත් උප මානව වානර විශේෂ ඉන්දීය උප මහාද්වීපයේ ගැවසෙමින් සිටි අතර මුල් ප්ලයිස්ටෝසීන යුගයේදී පැවැත්ම සඳහා පරිසරය සමග සිදු කළ අරගළයේදී තව තවත් දකුණට සංක‍්‍රමණය වී අනතුරුව එම උප මහාද්වීපයේම කොටසක් වූ ලංකාවට සම්ප‍්‍රාප්ති වී ඇති බවට කපිතාන් රඹුක්වැල්ල තර්ක කරයි. මෙසේ දිගු දුර ගිය වානර – මානව න්‍යායයන් බොහෝ විවේචනයන්ට ලක්ව තිබේ. පිතකැන්ත්‍රොපස් හා ඔස්ට‍්‍රලොපිතෙකස් ජීවත් වුණේ වසර ලක්ෂ පහකට පෙරාතුව යයි විශ්වාස කරන අතරනූතන මානවයා හෙවත් හෝමෝ සේපියන්ගේ සපැමිණීමට බොහෝ කලකට පෙර වඳ වී ගිය බව පෙනේ.

ප‍්‍රකට ගවේෂක වෛද්‍ය ආර්. එල්. ස්පිට්ල් විසින් රඹුක්වැල්ලගේ න්‍යායය විවේචනය කරනුයේ (රාජකීය ආසියාතික සමිතිය ප‍්‍රකාශනය, 1963) වඳව ගිය රතු ලෝම සහිත දුඹුරු වලසකු වන රාහු වලසා (Ursus Inornatus) සමගින් නිත්තෑවන් සරළ ලෙස අනන්‍ය කරමිනි.

නිත්තෑ පුරාවත පිළිබඳ පානම පත්තුවේ සිංහල වැසියන්ගෙන් නෙවිල් (1886) විසින් ලබා ගන්නා ලද විස්තර මත ස්පිට්ල්ගේ ප‍්‍රවාදය පදනම් වෙයි. නිත්තෑවුන්ට, රාහු වලසාට මෙන් විසිරුණු රතු ලෝම හා දිගු නිය ඇතැයි කියනු ලබන පුරාවෘත්තය වැද්දන් අතර තවමත් සුරක්‍ෂිත ව ඇති ප‍්‍රවාදයකට බෙහෙවින් සමානය. කෙසේ වෙතත් නෙවිල් මෙය වැද්දන්ට ඉදිරිපත් කළ කල්හි වැද්දන් විසින් මෙකී ප‍්‍රවාදය සඳහා කිසිදු ආකාරයක සහයෝගයක් නොදැක්වූ අතරම නිත්තෑවුන්ගේ රතු පැහැ හිස කෙස් සහ දිගු නිය පිළිබඳව විස්තරය අසා වැද්දෝ විමතියෙන් එය හාස්‍යයට ලක් කළහ. ඔවුන් එකවරම කියා සිටියේ සිංහලයන් විසින් දුර්ලභ වලසකු වන රාහු වලසා නම් වූ ලේනම ප‍්‍රදේශයේ සිට දැන් වඳව ගොස් ඇති, අපැහැදිලි කටකතා මඟින් පමණක් දැන ගත හැකි ජීවියකු සමඟින් නිත්තෑවන් පටලවාගෙන ඇති බව යයි නෙවිල් ලියයි. මෙම වලස් විශේෂය බොහෝ මෑතක් වන තුරු ජීවත් වූ බවට සාක්‍ෂි ඇත. 1885දී නෙවිල් විසින් රචිත තැප්‍රෝබේනියන් නම් වූ ග‍්‍රන්ථයේ සටහන් වනුයේ, රාහු වලහා කලාතුරකින් “මැණික් ගඟ හා කුඹුක්කන් ඔය අතරමැද වූ වනයෙන් පිරි දිස්ති‍්‍රක්කයක” හමුවන බවකි.

1964දී නන්දදේව විජේසේකර සංක‍්‍රමණය වන වැද්දන් පිළිබඳ වූ තම කෘතියකින් යෝජනා කර සිටිනුයේ නිත්තෑවන් යනු නෙග්රිතෝ මිනිසුන් විය හැකි බවය. විජේසේකර තම න්‍යාය තව දුරටත් පුළුල් කිරිමට වෙර නො දරන්නේ මුත්, එතකුදු වුවත් එය නිශ්චිතවම වාගේ ඊට පෙර නිත්තෑවුන් පිළිබඳව ඉදිරිපත් කළ අනෙකුත් න්‍යායන්ට වඩා තහවුරු කළ හැකි මතයක් වෙයි. නෙග්රිතෝවරු මුළු මහත් දකුණු හා ගිනිකොණදිග ආසියාවේම ජීවත්ව දැන් එම ප‍්‍රදේශවලින් වඳව ගොස් ඇතත්, ඔවුන් තවමත් බෙංගාලි මුහුදු බොක්කේ දකුණු දිගින් පිහිටි අන්දමන් දූපත්වල දැකිය හැක. මෙම ජන වර්ගයේ අනිකුත් සාමාජිකයන් මලයානු අර්ද්වීපයේ සෙමැං හා සුලාවාසීහි තොආලා (Toala) හි දැකිය හැක.

නෙග්රිතෝ ඝනයේ තවත් සාමාජිකයන් පිරිසක් කදාර් හා පුලයියන් ගෝත‍්‍ර වැනි ආදිවාසී දකුණු ඉන්දීය ගෝත‍්‍ර අශි‍්‍රත ව හඳුනාගත හැක. ලාක්ෂණික තද කලූ සමෙහි වර්ණය, මොළොක් හිස කෙස්, පුළුල් හිස, පැතලි නාසය, හා නූස් සිරුරු මඟින් ඔවුන් පහසුවෙන් හඳුනා ගත හැක. ඔවුන්ගේ වැඩුණු පුරුෂයකු සාමාන්‍යයෙන් අඩි හතරයි අගල් හයක් පමණ උස වන අතර, පරිණත ගැහැණු අයකු ඊටත් වඩා උසින් අඩු ය. භූගෝලීය සාධකවල පවත්නා දැඩි සමීපභාවය තුළ දකුණු ඉන්දීය නෙග්රිතෝ ගෝත‍්‍රිකයන්ගේ සංචරණ කණ්ඩායමක් දුර ඈත අතීතයේ දවසකදී ලංකාවට පැමිණීම සිදු නොවිය හැක්කක් නොවේ. එනමුත් ඔවුන්ගේ සිරුරු හා සම්බන්ධ අස්ථි කොටස් හමු වී නොමැත්තේ මන්දැයි ඇසීම වැදගත් ප‍්‍රශ්නයක් ලෙසින් සැලකිය හැක. ඊට හේතු ලෙසින් දැක්විය හැක්කේ නිත්තෑවන්ගේ වාසභූමිය වූ ලේනම හා තමන්කඩුව ප‍්‍රදේශයන් තවමත් විශාල වශයෙන් ගවේශණයට ලක් කර නොතිබීම බව කිව හැක.  

අජිත් පැරකුම් ජයසිංහ
ක්ලෙමන්ට් නාමල් පීරිස්   

මෙය අප විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ‘ඉතිහාස’ සගරාවේ පලකරන ලද ලපියකි

Advertisements
Comments
  1. dawkinssdodo says:

    Great post. Very informative!

  2. Lalith Jayasundara says:

    This was published in “Diwaina” news paper. Contents are same……….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s