සම්බුද්ධත්ව ජයන්තිය, සිංහල බුදුදහම හා සැබෑ බුදුදහම

Posted: May 18, 2011 in ඉතිහාස

මෙහි අකුරු පැහැදිලි මදි නම් අපගේ Blogspot අඩවියට පිවිසෙන්න>>http://novembermovement2005.blogspot.com

බුදුන් බුද්ධත්වයට පත්ව වසර 2600 ක් මෙම වසරට සැපිරෙන බව බෞද්ධයන්ගේ විශ්වාසයයි. පවතින සිංහල බෞද්ධ රජයේ සුවිශාල අනුග‍්‍රහයක් සහිතව මහා සැනකෙළි ස්වරූපයෙන් සැමරෙන්නේ මෙම 2600 වන සම්බුද්ධත්ව ජයන්තියයි. බුද්ධසාසන අමාත්‍යංශය විසින් මෙම සම්බුද්ධත්ව ජයන්තිය සැමරිම සදහා තොරණ් නිර්මාණය කිරීමට රුපියල් කෝටියකට අධික මුදලක් වැය කිරිමට යාම සම්බන්දව ඇතිවූ අර්බූදයක් පිළිබදවද සමහර මාධ්‍ය විසින් වාර්තා කොට තිබිණි. සිහල උරුමයේ නායක චම්පික රණවක ඇතුඵ ප‍්‍රධාන සාමාජිකයින් සම්බුද්ධත්ව ජයන්තිය සමරනු ලබමින් සිටින්නේ හිස බූ ගෑම හරහාය.

අපට පොදු ජනයා විසින් වෙසක් දිනය සැනකෙළියක් කරගැනීම සම්බන්දයෙන් නම් කිසිදු සදාචාර ගැටඵවක් නොමැත. ගැටඵව වන්නේ දැවැන්ත සැනකෙළි හා හිස බූ ගෑම් වැනි ජනප‍්‍රිය හා ආකර්ශනීය ස්වරූපයන්ගෙන් සැමරෙන මෙම සම්බුද්ධත්ව ජයන්තිය මගින් බුදුන් වදාල මුල් බුදු දහමේ වූ ගැඹුරු හරයන් කෙතරම් දුරට ආරක්ෂාවී ඇත්ද යන්නයි. අනික් අතට 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය සමරන වර්තමාන ලංකාවේ පවතින සංඝ සමාජය තුළ එකල බුදුන් විසින් නිර්මාණය කල භික්ෂු සංගයෙහි පැවති ගැඹුරු හරයන් හා වටිනාකම් කෙතෙක් දුරට ආරක්ෂාවී ඇත්ද යන්නයි.
ක‍්‍රි.පූ. 6 වන සියවසට පෙර 7 වන 8 වන සියවස් තුල උතුරු ඉන්දියාවෙහි පාලන ක‍්‍රමය වූයේ ජනපද ක‍්‍රමයයි. මෙම අවධියෙහි උතුරු ඉන්දියාවෙහි ජනපද දොළහක් පැවති බව කියවේ. මෙය හැදින්වූයේ සොලොස් මහ ජනපද වශයෙනි. මෙම ජනපද ක‍්‍රමය තුල තනි රජෙකුගේ පාලනයක් නොවූ අතර සාමූහික තීරණ ගැනීම හරහා තම ජනපදයන් හි පාලනය පවත්වා ගැනීම සිදුවිය. මෙම ජනපද තුළ වූ කුඩා ගම්මාන තුල විසූ ප‍්‍රජාවන් විසින් සාමූහිකව තම ගම්මානය සදහා නායකයන් පත්කර ගන්නා ලදී. මෙම ගම්මාන තුල වූයේ පොදු දේපල ක‍්‍රමය මත පදනම් වූ සාමූහික ජීවන ක‍්‍රමයකි. මෙම කූඩා ඒකකය හදුන්වනු ලැබුයේ ගණ සංඝයක් වශයෙනි. මෙය මාක්ස්වාදයේ එන කුඩා කොමියුනයකටද සමාන කල හැකිය. මෙම ගණ සංඝයන් නියෝජනය කල සියඵම නායකයන් එක් රැස්වී කතාබස් කොට සියඵ දෙනාගේ අනුමැතිය සහිතව ඉතා සාමූහික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වරූපයකින් ජනපදයේ පාලනය සම්බන්දයෙන් තීරණ ගන්නා ලදී. එකිනෙක ජනපද අතර සම්බන්දයද ෆෙඩරේෂනයක ස්වරූපය ගැණිනි.

ක‍්‍රි.පූ. 5 වන සියවස වන විට මෙම ජනපද ක‍්‍රමයේ බිදවැටීම තූළ රාජාණ්ඩු වල නැගීමක් දැකිය හැක. නිදසුන් වශයෙන් ශාක්‍ය ජනපදයේ බිදවැටීමත් මගදය රාජාණ්ඩුවක් වශයෙන් නැගීමත් දැක්විය හැකියි. රාජාණ්ඩු වර්ධනය වීම හා ශක්තිමත්වීම තුල පෙර පැවති ගණ සංඝයන් තුළ පැවති පොදු වටිනාකම් වියැකී යමින් ඒ සදහා මුදල් හා හුවමාරු අගයන් ආදේශවීමක් ද මේ අවධිය තුළ සිදුවෙමින් පැවතිණි. බුදුන්ගේ මතුවීම සිදුවන්නේ මෙම අවධිය තුළයි. බුදුන් විසින් මේ අවදියේදී නිර්මාණය කරන භික්ෂු සංඝය යනු රාජාණ්ඩු වල වර්ධනය තුල විනාශවී යන ගණ සංඝයන් තුළ වූ සාමූහික අගයන්, වටිනාකම් හා හර පද්ධතීන් ආරක්ෂා කරගත් පරමාදර්ශිය සමාජ කණ්ඩායමක් වශයෙන් හැදින්විය හැක. බුදුන් මෙම පරමාදර්ශී භික්ෂු සංඝය හා භාවිතයට යොදවන බෝධිසත්ව සංකල්පය තුළ පරමත්වයට නංවන්නේ තමාගේ සුඛවිහරණය වෙනුවට අනෙකාගේ, සමාජයේ සුඛවිහරණයයි. මේ අනූව බුදුන් විසින් නිර්මාණය කරන ලද භික්ෂු සංඝය වූ කලී පුද්ගල විමුක්තිය වෙනුවෙන් නොව සමාජීය විමුක්තිය වෙනුවෙන් වෙහෙසුනු ඉතා සරල ජීවන විලාශයක් ප‍්‍රගුණ කල, කුළ ගෝත‍්‍ර වාර්ගික බෙදීම්වලට එරෙහි, එකිනෙකාගේ දුක සැප බෙදාගනිමින් සමාජය සුවපත් කිරීම වෙනුවෙන් වෙහෙසුනු  කල්‍යාන මිත‍්‍ර සංගමයක් විය.

අතීතයේදී මෙම දිවයිනෙහි බුදුන්ගේ බෝධිසත්ව සංකල්පය තම ව්‍යවහාරය බවට පත් කරගැනීමට උත්සහ කල අභයගිරිය විහාරය මහාවිහාරය විසින් යටපත්කොට විනාශ කොට දමන ලදී. මහා විහාරයෙහි අපේක්ෂාව වූයේ රජුගේ බලය ආරක්ෂා කිරීම හා එය සුජාත කිරිමයි. රජුගේ බලය ආරක්ෂා කිරීම සදහා බුදුදහම යොදා ගැනීම වෙනුවෙන් මහාවිහාරය විසින් අභයගිරිය සම්ප‍්‍රධාය යටපත්කොට විනාශ කෙරිණි. එතැන් සිට මහාවිහාරය මුල් බුදුදහමෙහි වූ බෝධිසත්ව සංකල්පය විකෘති කොට එය රජුට ආරෝපණය කෙරිනි. මෙතැන් සිට බෝධිසත්ව භාවය හිමිවූයේ රජුටයි. රජු බෝධිසත්වයෙකු වශයෙන් සුජාත කරනු ලැබීය. මෙතැන් සිට බෝධිසත්ව සංකල්පය තුල වූ සමාජ විමුක්ති හරය වෙනුවට එයට  පුද්ගල විමුක්තිය යන්න ආදේශ කෙරෙයි. 19 වන සියවසේදී අනගාරික ධර්මපාල වැන්නන් විසින් මහා විහාර සම්ප‍්‍රධාය හරහා ගොඩනැගුණු මෙම පුද්ගල විමුක්තිය කේන්ද්‍ර කරගත් බෞද්ධ සම්ප‍්‍රධාය කාලයට අනුරූපව නවීකරණය කොට එය සිංහල බුද්ධාගම වශයෙන් ජනප‍්‍රිය කිරීමට කටයුතු කෙරිනි. වර්තමානයේදී ලාංකිකයින් බහුතරයක් දෙනා බුදුදහම වශයෙන් හදුනාගෙන සිටින්නේ මුල් බුදුදහමේ වූ සමාජ විමුක්ති හරය වෙනුවට පුද්ගල විමුක්තිය ආදේශ කෙරුණු මෙම ජනප‍්‍රිය සිංහල බුද්ධාගමයි.

දහස් ගණනක් දෙමළ ජනයා කුරිරු ලෙස ඝාතනය කොට, දහස් ගණනක් සිංහල තරුණයන් යුද්ධයට බිලිදී, අබ්බගාතයන් බවට පත්කොට, ලක්ෂ ගණනක් දෙමල ජනයා අවතැන් කිරීම දක්වා වූ ජන ඝාතක යුද්ධයක් මෙහෙය වීම සදහා මූලික වූ සිහල උරුමයේ සාමාජිකයින් මෙම සම්බුද්ධත්ව ජයන්තියේදී හිස තට්ටෙ ගා භාවනායෝගීව, සිල්සමාදන්ව සමරන්නේ මෙම ජනප‍්‍රිය සිංහල බෞද්ධාගමයි. මුල් බුදු දහමේ වූ හරයන් හා වටිනාකම් වෙනුවෙන් පෙනී සිටින සිංහල බෞද්ධයන් වශයෙන් අපට කීමට ඇත්තේ තට්ටෙ ගා සිල්ගත් පමනින් ඔබලාට සමාජය සුවපත් කල නොහැකිය යන්නයි. සමාජය සුවපත් කිරීම වෙනුවෙන් නොව තම දේශපාලන ව්‍යාපෘතියේ පැවැත්ම වෙනුවෙන් හිස නොව වෙනත්  ඕනෑම අවයවයක් වුව බූ ගෑමට මොවුන් පසුබට නොවන බව දන්නෝ දනිති. හාස්‍ය සහ උත්ප‍්‍රාසය වන්නේ ඒ බව අන් කවෙරෙකුටත් වඩා දන්නේ ඔවුන්ම වීමයි.

මේ සම්බුද්ධත්ව ජයන්තියේදී සැබෑ බෞද්ධයන් වශයෙන් අපගේ වගකීම වන්නේ මහා සැනකෙළි, මාධ්‍ය සංදර්ශන හා හිස බූ ගෑම් වැනි දෑ වෙනුවට මුල් බුදුදහමේ වූ ගැඹුරු හරයන් හා වටිනාකම් මතුකර පෙන්වීමට උත්සහා කිරීමයි. මේ සදහා බුදුන්ගේ දේශනා තුල මූලිකව හදුනාගතහැකි මනුෂ්‍ය සම්බන්ධතා ත‍්‍රිත්වයක් සම්බන්දයෙන් අවධානය යොමු කිරීම වැදගත්ය. එනම් මනුෂ්‍යා තමා සමග පවත්වන සම්බන්ධය, මනුෂ්‍යා හා සමාජය අතර සම්බන්ධය සහ මනුෂ්‍යා හා ස්වභාව ධර්මය අතර වන සම්බන්ධයයි. නමුත් වර්තමානයේ පවතින ජනප‍්‍රිය බුදුදහම තුල මෙම මනුෂ්‍ය සම්බන්ධතා ත‍්‍රිත්වයෙහි වන මනුෂ්‍යා හා සමාජය අතර සම්බන්දයත්, මනුෂ්‍යා හා පරිසරය අතර සම්බන්ධයත් හැලී ගොස් එය පුද්ගල විමුක්තියකට පමණක් ඌණනය වී ඇත. නමුත් මුල් බුදුදහමට අනූව මනෂ්‍යාගේ එක් සම්බන්ධතා වර්ගයක දූෂණයේ හෝ පෝෂණයේ ලා ඉතිරි සම්බන්ධතා දෙවර්ගයද තීරණාත්මක බව ඉතා පැහැදිළිය. මේ අනූව හිස බූ ගා බොරුවට සිල්සමාදන් වී කරන දේශපාලන ප‍්‍රයෝගයන් මගින් හෝ මහා වෙසක් සැනකෙළි තුලින්  මුල් බුදුදහමෙහි වූ ගැඹුරු හරයන් ලාංකීය සමාජය තුළ නැවත ස්ථාපිත කල නොහැකි බව පැහැදිලිය. එම හරයන් අපට නැවත අත්කරගත හැකිවනු ඇත්තේ ඉහත සදහන් එකිනෙකට සම්බන්ධ මනුෂ්‍ය සම්බන්ධතා ත‍්‍රිත්වය ගැඹුරු ලෙස පරිවර්ථනය කිරිමට උත්සහා කිරීම තුලින් පමණකි.             

Advertisements
Comments
  1. Terrel Abeysinghe says:

    Excellent !!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s