“සැමරිය නොහැකි මතක”

Posted: July 17, 2011 in කලාව

 

 

 

 

 

ප‍්‍රාකාරය සහ වෙනත් කෘති
මෙම ප‍්‍රදර්ශනය සමන්විත වන්නේ විශාල ප‍්‍රමාණයේ ස්ථාපනයකින්, ඇදීම් කීපයකින් සහ පින්තාරු 4 කිනි. දශකයකට පමණ පෙරාතුව සිට මවිසින් ආරම්භ කරන ලද සෑම වසරකම ජූලි මාසයේදී  ලයනල් වෙන්ඞ්ට් කලාගාරයේදී පවත්වනු ලබන මෙය වාර්ෂික ප‍්‍රදර්ශනයක තවත් දිගුවකි. එය එක්තරා ආකාරයක අපේ නුදුරු අතීතයක සැමරියක නොහැකි සිදුවීම්වල සැමරුමක් මෙන්ම සමකාලීන සිදුවීම් සඳහා ප‍්‍රතිචාරයක් ද වේ.
මෙම ප‍්‍රදර්ශනයේ එන ස්ථාපනය මූර්තිමය රූපයන්ගෙන් සමන්විත අනන්තය දක්වා වූ ප‍්‍රාකාරයක් නිර්මාණය කරයි. සැබෑ ප‍්‍රාකාරයේ දිග අඩි 30ක් වන අතර උස අඩි 7කි. දෙපස වූ ප‍්‍රතිබිම්බයන්ගෙන් අතරමැද අවකාශයක් මවන අතර ප‍්‍රාකාරයේ අනන්තවූ බව එමගින් තීව‍්‍ර කරයි. රූපයන් මැවෙන්නේ ප‍්‍රාකාරයේ හිදැස්වලින්ය. එම හිදැස් රූපයන්ගෙන් නියෝජනය කරන්නේ යුද්ධය සහ ගැටුම් කාලයේදී මගේ රටේ පිරිමින් සහ ගැහැනුන් ගේ  ‘අහිමිවීම’යි. රූපයන් හිස්ව පවතී. නමුත් එවාම පැවැත්ම බවට පත්වෙයි. මෙම ප‍්‍රදර්ශනයේ විශේෂත්වයක් නම් නරඹන්නාට ද කලාකෘතිය සම්පූර්ණ කිරීමට සහභාගීවීමට හැකිවීමයි. එනම් ඔවුනට ප‍්‍රාකාරයෙහි හිදැස් හී ඉටිපන්දම් දැල්වීමට පුලූවන. මේ ක‍්‍රියාව කලාකෘතිය හා නරඹන්නා අතර කිසියම් ආකාරයක සම්බන්ධතාවයක් ජනිත කරයි. එය විසන් ස්මරණය ප‍්‍රාණවත් කෙරේ. මෙම සිහිකිරීමේ ක‍්‍රියාවලිය අවලෝකනයක් බවට පත්වී තමා පෙළන කම්පනය මැඩපැවැත්වීමට ඔවුනට උදව් කරයි. පහන් සහ ඉටිපන්දම් දැල්වීම අපේ සංස්කෘතියේ සාමාන්‍ය දෙයකි. සමහරු එය තමන්ගේ නිවෙස් තුල දී ද තවත් අය කෝවිල්, පන්සල් සහ පල්ලි වලදී ද පහන් දැල්වීම කරති. මෙම ආලෝකවත් කිරීම මගින් අප ජීවත්වන අවකාශය විපරිනාමය කෙරේ. එය අතීතයට වර්තමානයට සහ අනාගතයට විහිදුවන සම්බන්ධතාවන් ජනිත කරලන්නකි.
මේ හිස් අවකාශයන් අප අතර ඇතිකරනු ලැබූවේ ගැටුම සහ යුද්ධය විසිනි. එහි අහිංසක පුරවැසියන්, ආරක්‍ෂක හමුදාවල සේවයේ නියුතු වූවන්,  දේශපාලකයින්, රජයේ සේවකයන්, කැරලිකරුවන්, අවි දැරූවන් ආදී වශයෙන් තම දිවි අහිමි වූවන් විශාල ප‍්‍රමාණයකි. අපි මේ මරණයන් දෙස ඔවුන්ගේ තරාතිරම හෝ ජීවන රටාව හෝ වෙනත් කිසිවක් නොසලකා බලනවිට එ් සියල්ලෝම මිනිස් ජීවිතයන් පමණකි. එමෙන්ම එ් සෑම කෙනෙක්ම කාගේ හෝ ආදරයට ලක් වූවෙකි. මෙම කලාකෘතිය සමග නරඹන්නාගේ මුසුවීමේ අත්දැකීම විසින් විශේෂ ආකාරයක සමාජ සවිඥනිකත්වයක් සහ කිසියම් ආකාරයක අතීතයට වගකීමක් මෙන්ම බෙදුනු ජනවර්ගයන් හරහා අනෙකා පිලිබඳව ගරුත්වයක් ඇතිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. එය බහුවාර්ගික සමාජයක සංහිඳියාවට සහ යුක්තියට බෙහෙවින් උදව් කරනු ඇති.
වසරක් පාසාම මා මෙය කරන්නේ ඇයි?  එය ඔබ ඇසිය හැකි තීරණාත්මක ප‍්‍රශ්නය විය හැකිය. කලා කෘතියක් කිරීමට කැන්වසයක්, කඩදාසියක් හෝ මූර්තිමය මාධ්‍යයක් වෙත මා අභිමුඛ වූ මොහොතේ 1983 සිදුවීම්වලට සහ ඉන්පසු සිදුවුන දේවලට ඇඳුන බාධක සිතිවිලි රටාවන් මගේ මනස ආක‍්‍රමණය කරයි. මිනිස් රූපයන්ගෙන් සෑදුනු චමත්කාර චිත‍්‍ර  සහ පුද්ගල රූපයන් පින්තාරු කිරීමට මා කොපමණ ආසා කළත්, එය මට කළ නොහැකිව තිබේ. එ් මන්ද යත් 83 ජූලියෙන් ඉවත්ව යන්නට මට තවමත් නොහැකිවී තිබීමය. එ් ඛේදය සිදුවූයේ මගේ දෑස් ඉදිරිපිට ම වන බැවිනි. එ් තීරණාත්මක අවස්ථාවේ සොල්දාදුවන් 13න් දෙනෙක් එල්ටීටීඊය විසින් මරා දැමිණි. ඉන්පසු එම සොල්දාදුවන්ගේ මළ සිරුරු නොගෙන යන ලෙස කළ උපදෙස් වලට ඇහුම්කන් නොදී දේහයන් කොළඹට ගෙන එන ලදී. එය සහමුලින්ම දේශපාලනික ක‍්‍රියාවකි. සමහර දේශපාලකයන් බලාපොරොත්තුවූ සහ ප‍්‍රාර්ථනා කළ ආකාරයෙන් කෲර වධහිංසාව ඇරඹිණි. මේ සංහාරාත්මක ක‍්‍රියාව මනාව මෙහෙයවන ලද සහ සංවිධානය කරන ලද්දකි. මගේ දෑස් සාක්කි දැරූ දරුණුතම අපරාධය එය විය. මෙම කෲර වධහිංසාව විසින් ගැටුම සහ යුද්ධය වඩ වඩා වැඩි කළේය. නිමක් නොමැති ඝාතනයන් එයින් ඇරඹිණි. පැරණි කියමන වූ මුතු ඇටය වෙනුවට අපේ රට ඉන්දියානු සාගරයේ රුධිරයෙන් නැහැවුනු දේශය විය. පාරාදීසය අහෝසි විය. ක්‍ෂේම භූමියක් වූ රට ඝාතන භූමියක් බවට විපරිනාමය විය. එදා මෙන් නොනවතින රුධිරය හලන ක‍්‍රියාවන් , ෂෙල් වෙඩි, බරපතළ දඬුවම්, බෝම්බ පිපිරීම්, බ්ම් බෝම්බ සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අද නොමැති යැයි නිරතුරුව අපේ කණ වැකේ. දැන් එ් යුගය අතීතයට අයත් ය. මගේ ප‍්‍රාර්ථනාව සහ බලාපොරොත්තුව වන්නේ එබඳු දෙයක් යළි කිසිදිනක සිදු නොවේවා යන්නයි.
ආසන්න වශයෙන් දශක තුනක් පමණ මේ යුද තත්ත්වය යටතේ අපි ජීවත් වුනෙමු. බිය සහ සැකය හැම බිම් අඟලක් පාසාම පැතිරී තිබුණි. යුද්ධය අවසන් වූවද අද ‘සැබෑ’ සාමයක් තිබේද? හිටපු වීරයන් සහ සතුරන් ගැන අද කියන්නට ඇත්තේ කුමක්ද? ඔවුන් දැන් කොහිද? ඔවුන්ට සිදුවූයේ කුමක්ද? අපි දැන් කරමින් සිටින්නේ කුමක්ද?
සාමය ඉදිකිරීම උදෙසා රටේ පුරවැසියන්ගේ උද්යෝගයේ මොහොත අල්ලා ගන්නවා වෙනුවට අථත් ආකාරයේ සීතල යුද්ධයක් ආරම්භ වී තිබේ. එහිදී හැම තැනකම  පාහේ සතුරන් සෙවීම සහ අවලාද නැගීම, ද්‍රෝහීන් කුමන්ත‍්‍රණකාරයන් ආදී වශයෙන් නම් කිරීම, ලේබල් ඇලවීම ආදිය කරයි. හැම වචනයක්ම සරසා තිබෙන්නේ  ජාතිවාදී , දේශ හිතෛෂී, රාජ්‍ය හිතෛෂී බවින් ය. බලය තෘප්ත කරවන වචන සජ්ජායනය අභිචාරයක් සහ වෘත්තියක් බවට පත්ව තිබේ. විසම්මුතියට සහ සාධනීය විවේචනයකට කිසිදු ඉඩක් නොමැත.  එවැන්නක්  පාවාදීමක් හෝ කුමන්ත‍්‍රණයක් ලෙස නැවත  ලේබල් කෙරේ. දැන් අපි වාසය කරන්නේ ‘වාගලංකාරමය’ අවකාශයකය. වාගලංකාරය කිසිදා නොවූ විරූ තරමට බලවන්තය. දිනෙන් දින අප මිත්‍යාමය පරිසරයක් කරා ගමන් කරන්නෙමු. මේ මිත්‍යාමය අවකාශය සිහිනමය වූවකි. කිසිවකු අනෙකා කියන්නක් විශ්වාස නොකරන නමුත් බලවතා ගේ වචනය පමණක් විශ්වාස කරයි. ඉන් ගොඩනැගෙන ආදර්ශ පාඨය වන්නේ  ‘සෑම විටම සත්‍යය  පවසන්නේ බලාධිකාරියයි. එම නිසා එය හැමවිටම නිවැරදිය’ යනුවෙනි.  අදහන දෙය ම පෙනේ !
අපි දැන සිටින්නේ යුද්ධය අවසන් බවයි. එහෙත්  සොල්දාදුවෝ තවමත් ආයුධ සහිතව මහමග සීරුවෙන් සිටිති. වර්තමාන දේශපාලන බලය සඳහා වැදගත් වන්නාවූ ප‍්‍රදේශයන් විනාශ කර දැමීමට තවත් එන්නේ කවුරුන්දැයි කියා ඔවුන් පරික්‍ෂාවෙන් සිටින බව සිතන්නට අපව පොළඹවයිි.  යුද්ධය හමාර වූ විට අප සිතා සිටියේ බියෙන් සැකයෙන් තොරව දැන් ඉතින් අපට නිවී සැනසිල්ලේ සහ නිදහසේ සදහටම ජීවිතය ගෙන යා හැකි බවය. සාමය ප‍්‍රතිෂ්ඨාපනය කර තිබූයේ නම් බිය සහ සැකය තවත් නොපවතිනු ඇත. නමුත් බිය සහ සැකය අදටත් නඩත්තු කරනු ලැබේ. දශක තුනකට වඩා කාලයක් යුද්ධය සමග  අපි බිය සහ සැකය ද ඇති දැඩි කළෙමු. සංහිඳියාව, යුක්තිය සහ සාමය වෙනුවෙන් අපි එය වෙනස් කළ යුතු වෙමු. ජාතියේ වේදනාත්මක තුවාල කැළල් සුවපත් කිරීමට අපි එකතුව ක‍්‍රියා කළ යුතු වෙමු.
චන්ද්‍රගුප්ත තේනුවර, 2011 ජුනි
චන්ද්‍රගුප්ත තේනුවරගේ
‘‘ප‍්‍රාකාරය සහ වෙනත් කෘති’’
ස්ථාපන, ඇදීම් සහ පින්තාරු ප‍්‍රදර්ශනය
ලයනල් වෙන්ඞ්ට් කලාගාරය
මහජන දැක්ම: ජූලි 24 සිට ජූලි 31 දක්වා පෙව 10 සිට පව 7 දක්වා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s