Archive for the ‘කවි’ Category

ඇණ දැන්වීම

Posted: January 3, 2011 in කවි

(සෞදියේ දී ඇණ ගසා පීඩාවට ලක් කළ ලාංකේය ස්ත‍්‍රියක)
– මේ ඒ ඇසුරින් ලියවුණු කවියක් නොවේ. වෙළද දැන්වීමකි.

සෞදියේ නැත්නම්
ඇනවුම් කරන්න
සවුදිය පුරමින්
අපි ගැසු ඇණ තිබේ
තොග පිටින්

කල්වාරි කන්ද මුදුනේ
දෙවියන්ගේ පුතු පවා
සිදුරු කළ
මෙහි තිබේ ඇණ
නොනැමෙන
යළි උත්ථානය …?
පව්කාර කතාවක් එය
වෙන ඇණ කොම්පැනියක

සම්, මස්, නහර විද
ඇට සිදුරු කර
ඇට තුළට වැද
යළි උත්ථානයට ඉඩ නො දෙන
ඇණ
අපේ අළුත් ම අළුත් ඇඞ්’ඩෙක

ඔළුවට පරාල ඇණ
ඇස් දෙකට අගල් දෙක – කද මහත
නියපොතු අස්සෙන්
විදිය හැකි ය සීරුවට
ටින්ටස්
දන්නවද ත‍්‍රීමා…?

අවැසි නම්
සැපයිය හැකි ය
පුහුණු කළ ඇණ ගසන්නන් වුව
නොමිලේ ම
89 ටත් කලින් සිට පුරුදු කළ

ඇණ
ගහගන්න
තැන් නැත්තං
ඔළුත් එවන්නං
දෙගුණයක් ඇසුත්
විසිගුණයක් නියපොතු සමග

සැළකිය යුතු යි
වැදගත් ම දේ
මේ ඔළුවලට ම බව
තනා ඇත්තේ
මේ ඇණ

ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න –

”සල්ලි දීලා මුගේ කවි කියවන්නේ මොකටද?”
තරුණ කවියෙකුගෙ කාව්‍ය සංග‍්‍රහයක් එළි දැක් වු දින ඔහුගේ මිතුරු කවියෙක්

වසර ගණනක් තිස්සේ
මා ලියූ කවි ගෙන ගොස්
අච්චු ගහ ගත්ත දවසේ
ණය වුණා මං කොළඹට

උඹ දන්නේ නැතුවත් ඇති ඒක

උඹ නැති වෙන්නෙ
නැත්නම්
සඳ නැති වුණත්
කම් නැත

උඹ දුටු විට සිතුණේ එහෙම

තුට්ටුවක් නොවටිනා
මගේ කවි
සෙම් වගේ සොටු වගේ
සූරලා, කාරලා දමා
උඹ ගිහින් තිබුණා
මගේ කවියක් මත
තද සෙවල කහ
කැටියකුත් තබලා

උඹ ගැසු කැහි පිඩ
එතරම් අපුලක්
ගෙනාවේ නැහැ මට

මගේ අතින් ම
ඒ සෙවල කහ කැටිය පිහදලා
ඒ කවිය රැගෙන ආවා මම
කවි නොකියවන
දුර ඈත ගමකට
දකුණතින් වහකුප්පියක්
ගත් මිනිසෙකු
උදුරා ගත්තේ වමතිනු යි
ඒ කව

ත‍්‍රී රෝද රථයක
පිටු පස
අලවා ගත්තේ අයෙකු
ඒ කව

දැන් මා අසළ
ඒ කව නැත

අවසන් ය.

උඹ ගැසු
කැහි පිඩ නම්
තැන තැන තැවරෙමින්
එල්ලෙමින්
මේසය මත ම ඇත.

උඹගේ නිසා
යළි තැපැල් කර
එවිය නොහැකි ය
මතු දිනෙක
කවියක් ම වනු ඇත.

ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න

 

‘‘……ආලින්දයේ රූපවාහිනිය ඉදිරිපිට දිනපතා රන් දෙපැය නරඹන අයුරින්ම යුධ පුවත් නැරඹු අපි එ ගැහැණුන් මිනිසුන් අත්දකිමින් සිටි භීතිය, ත‍්‍රාසය, වියෝව, වියවුල ඉතා පහසුවෙන් අමතක කර දැමුවෙමු. ෂෙල් ප‍්‍රහාර වලින් මල්ටි බැරල් වලින් ගැලවීමට සී සී කඩව දුවනා දරු පැටව් අප දුටුවේ නැත. බංකර් තුළ ගුලි වී කෑම, වතුර නොමැතිව හුස්ම ගැනීමට අපහසුවෙන් මිය යන දරුවන් අප දුටුවේ නැත. තම දැස් ඉදිරි ඉදිරිපිට කුඩු වී ගිය මවගේ මස් වැදලි අතින් එකතු කරනා තරුණියන් අප දුටුවේ නැත. අතේ සිටි තම සිඟිති පුතුගේ හිස සොයමින් කෑ මොර දෙන මව්වරුන් අපි දුටුවේ නැත.
අපි කඳුඵ හෝ ලේ දුටුවේ නැත. යුද්ධයේ නපුරු කුරිරු මිලේච්ජත්වය අප ඉදිරිපිට සුදු සලූවකින් වැසී තිබිණි. අපි ඔවුන් වෙනුවෙන් එකදු කඳුලක් නොසැලූවෙමු………………………………………….. ’’
– කුමාරි –

(ටිකක් ඉතිං වෙනස් තමයි)

කොහේ යන්නද දුවං
කකුල් කොට වන වනං

උඹ මෙහේ හිටපං
අපි බලා ගන්නං

සින්තනා

කකුල් තිබුනනං හෙම
කරදරයි නොවැ බොහොම
උඹ නිකං හිටපං
අපි හොයා බලනකං

සින්තනා

අම්මා ඇඬුවාට
අප්පා නැති කලට
හැදු වැඩු පාපයට

අපි හැම සමානයි
(ටිකක් ඉතිං වෙනස් තමයි)

සින්තනා

තාත්තත් ආච්චිත්
උපන් දා ඉඳංමත්
ආදරෙන් වඩා ගත්
කකුල් දෙක දුන්නාට
ඕනෙ නෑ අඬන්නට

සින්තනා

උඹ හොඳට දිව්වනං
අපි හරිම කරදරෙං

උඹලා ගැන ළතවෙමිං
අපි හැමොම ශෝකයෙං

උඹල වැඩි නැහැ අපට
අපි ම ගැන හිතුවාට

උඹලා ගැන අඬන්නං
උඹලා ගැන ලියන්නං

උඹ ඔහේ හිටපං
සින්තනා……
අපි ම දැං දුවන්නං

“උරෙයිප්පු සාප්පාඩ
නො ඇසු කන් වලට”

– කුමාරිගේ කවි පොතෙන්  –

කුමාරි ව අහම්බෙන් හම්බවුන වෙලාවක අපි කුමාරිගෙන් කවි පොතක් ඉල්ලූවා මිලදී ගන්න. එ්ත් එ් වෙලාවෙ කුමාරි ගෙ මල්ලෙ ඇගේ කවි පොතක් තිබුනෙ නැහැ. එ වෙලාවෙ තමයි කුමාරි අපිට කිවුවෙ එයා පහුගිය කාලෙම එයාගෙ මල්ලෙ මේ කවි පොත් දාගෙන එ්වා විකුණ ගන්න ගොඩක් තැන් වල ඇවිදල දැන් උරෙස් දෙකත් රිදෙනව කියල.
‘‘උරෙයිප්පු සාප්පාඩ නො ඇසූ කන් වලට’’ පොත කතෘ ප‍්‍රකාශනයක්. අපි දන්න විදියට වැඩිදෙනෙක් තමන්ගෙ මහන්සියෙන් පොතක් කරනකොට වටේට ණය වෙලා බොහොම අමාරුවෙන් තමයි පොත මුද්‍රණය කරගන්නෙ. මෙහෙම අමාරුවෙන් කරන පොතක් විකුණ ගන්න පොත් සාප්පු වලට දාපුවම පොතේ මිලෙන් සියයට විස්සක් හෝ ඊට වැඩි ප‍්‍රතිශතයක් පොත් සාප්පු හිමියන්ට දෙන්න වෙනවා. මේ නිසා පොතට යට කරපු මුදලවත් සපයා ගැනීම අසීරු දෙයක්. මේ නිසා කුමාරි පොත් සාප්පුවලට ඇගේ පොත විකුණන්න දාල නැහැ. මේ නිසා කුමාරි එයාගෙ පොත විකුණ ගන්නෙ එයාගෙ මිතුරු මිතුරියන් සහ හිතවතුන් මාර්ගයෙන්.
අපි දකින විදියට මෙවැනි ප‍්‍රකාශන විකුණ ගන්න විකල්ප ක‍්‍රම ගැන හිතන්න වෙනව. එ් පිළිබඳව අපි වෙනම සාකච්ජා කලයුතුයි.

අපි දකින විදියට කුමාරිගේ මෙම නිර්මාණ භාවිතය තුළ පවතින දේශපාලන හරය සමාජගතවිය යුතුයි. මේ මොහොතේ අපට ඒවෙනුවෙන් කල හැකි අවම දේ තමයි පොතක් මිලදීගෙන තව කීපදෙනෙකු අතට වත් එය පත් කිරීම. ඉතිං කුමාරිගේ ‘උරෙයිප්පු සාප්පාඩ නොඇසූ කන්වලට’ මිලදී ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් පහත දුරකතන අංක වලට අමතන්න.

ජයාන්    – 0716-230175
කුමාරි     – 0714-314240